Thursday, May 30, 2013

නුග ගහ යට දැවැන්තයා දයානන්ද ගුණවර්ධන

නිර්මාණ ලෝකයේ දැවැන්තයන්ගේ ජීව දත්ත හා අප්‍රකට තොරතුරු ඇතුළත් නවතම විශේෂාංගය

දයානන්ද ගුණවර්ධන අරුම පුදුම ගතිගුණ ඇති මිනිසෙකි. ඔහු කතා කරන්නට ගිය විට එක දිගට කතා කරයි. උගන්වන්නට ගිය විටත් එසේ ම ය. පොතපත කියවන්නට සහ හදාරන්නටත්, ලියන්නටත් ගිය විට ඊටත් හපන් ය. ඔහු අපේ ජාතියේ ඉතිහාසය සොයා දුෂ්කර ගමනක නිරත විය. තමා සොයා ගත් දේ මිනිසුන්ට නොමසුරු ව බෙදා දීමට හොඳ ම මාධ්‍යය කලාව බව ඔහු විශ්වාස කළේ ය. නමුත් ඒ දේවල් ගැන පුළුල් ව කතා කිරීමට මේ ලිපිය තරම් නොවේ යයි සිතමි.
දයානන්ද කුඩා කල එක් දිනක් උඩහගෙදර තොවිලයක් නරඹමින් සිටියේ ය. තොවිලය අවසාන වීමටත් ප්‍රථම ඔහු කොලු කුරුට්ටන් කීප දෙනකු සමඟ එක් වී තොවිලයේ මල් පැළක් ගලවාගෙන එපිටහ ඉඩමකට ගොස් පුංචි තොවිලයක් නැටුවේ ය. එදින රාත්‍රියේ පුංචි තොවිලයේ නඩේ ගුරා වූ දයානන්ද සිහිනෙන් හොඳටෝ ම බිය විය. අවසානයේ ඔහු සුව කරන්නට මහා තොවිලයක් නටන්නට සිදු වී තිබේ.
මේ සිදු වීමෙන් පසු ඔහු පසු කලක කළ දැවැන්ත නාට්‍ය නිර්මාණ ගැන යම් චිත්‍රයක් මතු කරගත හැකි බව සැබෑවකි. එහෙත් ඔහුගේ අරුම පුදුම ගතිගුණ ගැන ද තොරතුරු ඒ සිදුවීමේ සැඟැවී තිබේ.
දිනක් දයානන්ද ගුවන් විදුලියේ සේවය කළ අවධියේදී අතපසු වීමකින් මැදිරියක යතුරු සාක්කුවේ දමාගෙන ගෙදර ගියේ ය. ඒ රටේ හදිසි අවස්ථාව පැවැති අවධියකි. ආරක්ෂක අංශයට යතුරු අත්‍යවශ්‍ය විය. ඔහුගේ මිතුරන් කීප දෙනෙක් වහාම වාහනයකින් දයානන්ද සොයා ඔහුගේම නිවසට ගියේ එබැවිනි.
කලිසම සහ කමිසය හැඳ ඔප දැමූ සපත්තු පැලඳ එක්තරා ලීලාවකට ගුවන් විදුලියේ ඇවිදින ව්‍යක්ත ලෙස ඉංගී‍්‍රසියෙන් කතා කරන දයානන්ද ගුණවර්ධන නිවසේ සිටියේ බුලත්විටක් සපමින් සරමක් පමණක් ඇඳ විවේක සුවයෙන් පසු වෙමිනි. යතුරු හැඳි කලිසමේ ම ආරක්ෂා සහිත ව තිබුණි. එදා ඔහු මේ අතපසුවීම සම්බන්ධව බොහෝ ලැජ්ජාවට පත් ව තිබේ. එවැනි අවස්ථාවල ඔහු කරන්නේ දෑතින් මුහුණ වසා ගෙන බිම බලාගෙන සිනහ වීම ය. එහෙත් ඔහුට අනුව මෙය තවත් එක් අතපසුවීමක් පමණි. අතපසුවීම සහ අමතක වීම ඔහුගේ සාමාන්‍ය ජීවිතයට කිසිසේත් ම අලුත් දෙයක් නොවීය. ඔහු ව ළඟින් ඇසුරු කළ බොහෝ දෙනෙක් මේ බව ඉතා හොඳින් දැන සිටියහ.
දයානන්ද ගුණවර්ධන සද්දන්ත මිනිසෙකි. ශරීරයෙන් පමණක් නොව දැනුමෙන් ද, ප්‍රතිභාවෙන් ද ඔහු සද්දන්තයෙක් ම විය. එහෙත් ඔහු සරල සුන්දර ගැමියකු බවත් අව්‍යාජ මිනිසකු බවත් දන්නෝ දනිති.
ඔහුගේ අමතක වීම සම්බන්ධ ව සමහර සිදුවීම් කතාන්දර ආකාරයෙන් දැන් ජනගත වී තිබේ. එවිට ඒවා යම් යම් වෙනස්කම් වලට බඳුන් වීම නිතැතින් ම සිදුවිය හැකි ය. ඔහුගැන කතා බහ කරන හැම විටක ම පාහේ මේ සිදුවීම් ගැනත් සිහි වීම ස්වභාවයකි. එහෙත් ඒ උපහාසයට හෝ අපහාසයට නොවන වගත් සැබෑවකි. ඔහු ගැන දන්නා මිනිසුන් ඔහුට ඇත්තේ පුදුමාකාර ආදරයකි. ළෙන්ගතුකමකි.
වරක් ඔහු විදේශීය මිතුරකු සමඟ ඔහුගේ වාහනයෙන් එවකට හෝමාගම පිහිටි ඔහුගේ නිවස බලා ගමන් කළේ ය. අතර මඟදී ඔවූහු නාට්‍ය කලාව ගැන කතාබහ කරන්නට වූහ. දැන් දයානන්දට නාට්‍ය කලාව හැර අන් සියලු දේ අමතක ය. කතාවෙන් කතාවෙන් ඔහු ඉදිරියට ම රථය පැදවී ය. නොදැනුවත් ව ම බොහෝ දුරක් ගමන් කළ රථය ඉන්ධන අවසාන වී නතර විය. අමතක වීම කොතෙක් ද යත් රිය නතර වී තිබුණේ රත්නපුරයේ දී ය. එදින ද ඔහු අත් දෙකෙන් මුහුණ වසාගෙන බිම බලාගෙන සිනහවන්නට ඇත.
සමහර දිනවල ඔහු සිය මෝටර් රථයෙන් කොළඹ පැමිණෙයි. එහෙත් ගෙදර යන්නේ දුම්රියෙනි. සිය වාහනය මතක් වන්නේ ගෙදර ගිය පසු ව ය. තමන් සමඟ වාහනයේ ගිය පිරිස අතරමඟ දමා බස්රියෙන් නිවසට ගිය කතාවක් ද ජනගත වී තිබේ.
තවත් දිනක් ගුවන් විදුලි සංස්ථාවට දයානන්ද හමුවීමට මිතුරෙක් පැමිණියේ ය. ඔහු ද ප්‍රකට පුද්ගලයෙකි. දෙදෙනාගේ කතාබහ දුර ගියේ ය. ඔවූහු දිවා ආහාරයට ආපන ශාලාවට ගියහ. තවමත් කතා බහ අවසාන වී නැත. කතා බහ මැද්දේ ම දයානන්ද සිය මිතුරාගේ බත්මුල ගෙන දිග හැරියේ ය. කාරණය මිතුරාට වැටහිණි. ඔහු ආපන ශාලාවෙන් කෑම පාර්සලයක් මිල දී ගත්තේ ය. දිවා ආහාරයෙන් පසු දෙදෙනා ම විසිර ගියහ. පසු දින සිය මිතුරාට දයානන්දගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි.
“හරි වැඩක්නෙ වෙලා තියෙන්නෙ, කතාවෙන් කතාවෙන් ඊයේ මම දවල්ට කාල නෑනේ. මගෙ බත්මුල ගෙදර ගෙනත් තිබුණා.” දයානන්දගේ හැටි දන්නා මිතුරා නිහඬ වී තිබේ.
බොරැල්ල වයි. එම්. බී. ඒ. ශාලාවේදී ‘මරාසාද්’ නාට්‍යය රඟ දැක්වූ දිනයක මොර සූරන වර්ෂාවක් වැස්සේ ය. දයානන්ද ගුණවර්ධන විශාල කුඩයක් ඉහලාගෙන බොරැල්ල හන්දියේ බස් නැවතුම් පළේ සිටියේ ය. ‘මරාසාද්’ නැරඹු ප්‍රසිද්ධ රංග ශිල්පියකු කඩේකට යන ගමන් දයානන්දගේ කුඩය යටට රිංගුවේ ඔහු සමඟ කතාබහ කිරීමටත්, වර්ෂාවෙන් ආරක්ෂා වීමටත් ය.
මම ‘මරාසාද්’ බැලුවායි දයානන්ද පැවසුවේ ය. මමත් ‘මරාසාද්’ බැලුවායි රංග ශිල්පියා පැවසුවේ ය. ඔයාට ඒක තේරුණා දැයි යළි දයානන්ද විමසුවේ ය. එවිට තමාට එය ගැටලු සහගත බව රංග ශිල්පියා පවසා තිබේ. මටත් එහෙම තමයි කියාගෙන දයානන්ද බස් රියක් වෙත දුව ගියේ ය. ඔහුට සිය සගයා තෙමෙන්නට ඇති බව පසුව සිහිවී පසුතැවිලි වෙන්නට ඇත.
තවත් දිනක මිතුරකු සමඟ දයානන්ද සිය වාහනයෙන් ගමනක් ගියේ ය. එදින ද කතාබහ දුරදිග ගියේ ය. දයානන්ද සිය වාහනය නවත්වා සිගරට් ගෙන ඒම පිණිස මිතුරා කඩයට යැව්වේ ය. ඔහු සිගරට් ගෙන ආපසු පැමිණි විට දයානන්දගේ වාහනය එහි නොවී ය. කාරණය වටහා ගත් ඔහු වෙනත් වාහනයක එල්ලී ඉදිරියට ගියේ ය. සෑහෙන දුරක් ගොස් දයානන්ද රථය මාර්ග තදබදයක් හේතුවෙන් නවත්වාගෙන සිටියේ ය. මිතුරා පැමිණි විට සිගරට් ගත්තාදැයි අසමින් දයානන්ද යළි සුපුරුදු පරිදි රථය පදවන්නට විය.
දයානන්ද ගුණවර්ධන සම්බන්ධ ව ජනගත වී ඇති එවැනි සිදුවීම් තව බොහෝ තිබේ. එහෙත් මේ අමතක වීම ඔහුගේ දුර්වලකමක් ලෙස දැකීමටවත් බොහෝ දෙනා අකමැති වූහ. මේ සෑම සිදුවීමක් පිටුපස අහිංසක අව්‍යාජත්වයක් තිබීම ඊට හේතුවක් වන්නට පුළුවන. ඔහු සාහිත්‍යයයට, ඉතිහාසයට, දර්ශනයට තම මොළයෙන් වැඩි කොටසක් වෙන්කර තිබුණා සේය. අවශේෂ දේවල් සිදුවූයේ ඉබේටම වාගේ ය. එහෙත් ඒ කිසිදු සිදුවීමක කුහකකම ඊර්ෂ්‍යාව ගෑවිලාවත් තිබුණේ නැත. එහෙයින් දයානන්ද කිසිදා කිසිවකුගේ උසුළු විසුළු වලට ලක්වූයේ නැත.
එකල රඟ දැක්වූ ‘සාජන් නල්ලතම්බි’ නාට්‍යයට බොහෝ විචාරකයන් දොස් නඟන විට දයානන්ද එය නරඹා කීවේ හාසෝත්පාදක නාට්‍යයක් බවත්, තමා ඉන් වින්දනයක් ලැබු බවත් ය. කොන්ද කෙළින් තබාගෙන තමාගේ මතය ප්‍රකාශ කිරීමට ඔහු කිසි විටක බිය නොවී ය.
සුදර්ශියේ නුග ගහ යට දැවැන්තයා ලෙස සමහරු ඔහු හැඳින්වූහ. ගෙදරින් ගෙන එන සුවිසල් තේ බෝතලයෙන් තේ පැන් පිළිගන්වන හැටි තවමත් ඔහුගේ සගයෝ සිහිපත් කරති. නාට්‍ය පුහුණු කිරීම් වලදී ඔහු නළු නිළියන් දෙස බලන්නේවත් නැත. බොහෝ විට වේදිකාවට පිටුපා ශාලාවේ ඈත කෙළවරට වී බිම බලාගෙන ඇහුන්කන් දෙයි. නැතහොත් ශාලාවෙන් පිටත බිත්තියේ දෑස පියාගෙන හිස ගසාගෙන සිටී. නළු නිළියන්ගේ රංගනය ඔහු නිරීක්ෂණය කරන්නේ ඔවුන්ගේ හඬ අසා සිටීමෙනි. සෑම වචනයක ම අවසන් අකුරක් සියලු පේ‍්‍රක්ෂකයන්ට ඇසෙන ලෙස උච්චාරණය කළ යුතු බව ඔහු නළු නිළියන්ට උපදෙස් දෙයි.
කිසිදා පේ‍්‍රක්ෂකයන් සමඟ හිඳ ඔහු ඔහුගේ නාට්‍යයක් නරඹා නැති බව ලියා තිබේ. නාට්‍ය රඟ දැක්වෙන විට එක්කෝ ඔහු ශාලාවෙන් පිටත ය. නැතිනම් වේදිකාවේ පිටුපස කාමරයේ ය. නළු නිළියන්ගේ හඬින් සහ පේ‍්‍රක්ෂක ප්‍රතිචාරවලින් සියල්ල නිරීක්ෂණය කර රස විඳීම ඔහුගේ පුරුද්දකි. එවැනි අවස්ථාවල තනියම සිනහ වෙමින් ඔළුවේ අත ගසා ගනී. සමහර විට දෑතින් බිත්තිවලට පහර දෙයි. එහෙ මෙහේ ඇවිදී.
අපේ ජාතියේ වංශ කතාව අව්‍යාජ ව කලාත්මක ව ලියා තැබු දයානන්ද ගුණවර්ධන නමැති අසාමාන්‍ය මිනිසා 1993 ජූනි 18 දින මරදාන එල්පින්ස්ටන් රඟහලේ වේදිකාව මතදීම හදිසියේ රෝගාතුර විය. එදින සිට සිහිසුන් ව සිටිය ඔහු 1993 ජූනි 24 දින සැදෑ සමයේ මෙලොව හැර ගියේ ජාතියේ අවසන් නොවූ මංසෙවීම අතරතුර වීම සැබෑවට ම ඛේදවාචකයකි.


වතගොත
නම : හෙට්ටිපතිරන්නැහැලාගේ දයානන්ද ගුණවර්ධන
උපන් දිනය : 1934 ඔක්තෝම්බර් 15
ස්ථානය : වේයන්ගොඩ සියනෑ කෝරළයේ හල්ගම්පිටිය
මවගේ නම : සෝමාවතී රණතුංග
පියාගේ නම : සයිමන් ගුණවර්ධන
පියාගේ රැකියාව : ගුරු වෘත්තිය
බිරිඳගේ නම : අයිරාංගනී ගුණවර්ධන
දරුවන් : චක්‍රායුධ ගුණවර්ධන (පුතා),
අභිමංගලා ගුණවර්ධන (දුව),
වසන්තපි‍්‍රය ගුණවර්ධන (පුතා)
අධ්‍යාපනය ලැබු පාසල්
* උඩුගම්පල රජයේ මහා විද්‍යාලය
* වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය
* කොළඹ ආනන්ද විද්‍යාලය
* ලංකා විශ්ව විද්‍යාලය
න්‍යායික ප්‍රවේශයන්
1. ලංකා විශ්ව විද්‍යාලයේ (පේරාදෙණිය) බී. ඒ. විශේෂ උපාධිය - 1957 (භූගෝල විද්‍යාව)
2. නාට්‍ය කලාව පිළිබඳ බ්‍රිතාන්‍ය නාට්‍ය සංගමයේ පාඨමාලාව හැදෑරීම.
3. ගීත නාටක පිළිබඳ ජාතික ගීත නාටක සංගමයේ පාඨමාලාව හැදෑරීම.
4. ගුවන්විදුලි ශිල්පය පිළිබඳ පුහුණුව (අධිරාජ්‍ය සම්බන්ධතා ශිෂ්‍යත්වය යටතේ - බී. බී. සී. පුහුණුව සහිතව)
5. රූපවාහිනී පුහුණුව (බී. බී. සී. පුහුණුව සහිතව)
6. ශේක්ස්පියර් නාට්‍ය පිළිබඳ පාඨමාලාව හැදෑරීම
7. බ්‍රිතාන්‍ය සංගමයේ ජාතික උත්සව පිළිබඳ පාඨමාලා හැදෑරීම
8. රූකඩ නාට්‍ය පිළිබඳ රුමේනියාවේ සහ චෙකෝස්ලෝවේකියාවේ පුහුණුව.
9. විකට චිත්‍ර සහ සිනමා (ළමා) පිළිබඳ බුකාරස්ට් සිනමා ආයතනයේ පුහුණුව.
10. 1962 දී ගුවන්විදුලිය සහ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව නැඟෙනහිර යුරෝපීය රටවල නාට්‍ය - චිත්‍රපට - රූපවාහිනී පිළිබඳව පුහුණුවක් ලැබීම.
රැකියා ප්‍රවේශයන්
1. උපාධි ගුරු - කෑගලු විද්‍යාලය, කෑගල්ල (1957 - 1960)
2. උපාධි ගුරු - තර්ස්ටන් විද්‍යාලය, කොළඹ (1960 - 1961)
3. වැඩ සටහන් සම්පාදක - ලංකා ගුවන්විදුලි සේවය (1961 - 1988 විශ්‍රාම යන තෙක්)
නාට්‍ය කලාව පිළිබඳ කථිකාචාර්ය - රංග විද්‍යා පීඨය (සංස්කෘතික දෙපාර්තමේන්තුව)
බාහිර කථිකාචාර්ය (නාට්‍ය) රජයේ ලලිත කලායතනය
කෑගලු ප්‍රාදේශීය කලා මණ්ඩලයේ උපදේශකයකු වීම
ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නාට්‍ය අනු මණ්ඩලයේ සාමාජිකයකු ලෙස සේවය කිරීම
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සාමාජිකත්වය දැරීම
ප්‍රසිද්ධ වේදිකාවට නඟන ලද නාටක
ස්වර්ණතිලකා, පරාස්සයා, නරිබෑණා, කාමරේ පොරේ, ඇමති පට්ටම, පිංගුත්තර, බක්මහ අකුණු, දෙන්නා දෙපොලෙ, ජසයා හා ලෙන්චිනා , ජීවන වංචාව හෙවත් ඉබිකට්ට, විකාරයේ ආකාරය, කබායේ හබේ, පද්මාවතී, ගජමන් පුවත, බැංකු නාටකය, මධුර ජවනිකා, ආනන්ද ජවනිකා
11. වෙනත් කෘත
. මූලික සිතියම් විද්‍යාව
. මද්දහන් ගින්දර (කවි)
. සකල කලා වල්ලභ (ජනප්‍රවාද) 






සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා සයිමන් නවගත්තේගම

නිර්මාණ ලෝකයේ දැවැන්තයන්ගේ ජීව දත්ත හා අප්‍රකට තොරතුරු ඇතුළත් නවතම විශේෂාංගය
ධුලෝලත්වය යනු බේබදුකම පමණක් නොවන බව සැබෑවකි. එහෙත් එය ඉක්මවා ගිය පසු තම ශරීරය තමන්ට ම පාලනය කළ නොහැකි වෙයි. පෙර කළ එක් දිනක් මධු ලෝලත්වයේ අගතියට ගිය සයිමන් නවගත්තේගම කටුබැද්ද හන්දියේ බස් නැවතුම් පළක බිම ඉඳ ගත්තේ ය.
මාතර ප්‍රදේශයේ සංචාරයක නිරත ව සිටි එවකට ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතා කොළඹ දක්වා ගමන් කරමින් සිටියේ ද ඒ අවස්ථාවේ දී ම ය. ප්‍රේමදාස මහතාගේ නෙත පාරේ බිම වාඩිවී සිටින සයිමන් හා ගැටිණි. ප්‍රේමදාස මහතා ගමන්ගත් රිය පෙළ ම නතර විය. ජනාධිපති ප්‍රේමදාස රියෙන් බැස නවගත්තේගම ළඟට ගියේ ය. පිටට තට්ටු කළේ ය. නවගත්තේගමගේ වෙරි සිඳිණි. හෙට උදේට හමුවන ලෙස ප්‍රේමදාසයන් නවගත්තේගමට කිව්වේ ය. එදා සයිමන් ගෙදර ගියේ ජනාධිපති රිය පෙරහැරේ ගිය රියකිනි.
එලෙස ම පසුදින ඔහු ජනාධිපති ප්‍රේමදාස හමුවිය. වටිනා මිනිසෙක් විනාශවීම අරබයා එදා ඇති සැටියෙන් ජනාධිපතිවරයා නවගත්තේගමට බැන්නේ ය.
ජන උදාවේ නායකයකු වශයෙන් පත්වීම දෙමින් ප්‍රේමදාස ජනාධිපතිතුමා නිහඬ විය. මේ සිදුවීම නොවුණා නම් සයිමන් නවගත්තේගම මිය යන්නේ ඒ කාලයේ දී ම ය. එහෙත් නව පත්වීම ගත්තා කියා සයිමන් වෙනස් නො වී ය. ඔහු මධු ලෝලත්වයට තිත තැබුවේ නැත. එලෙස ම සමාජ සම්මත බහුබූතවලට විරුද්ධ ව කැරළි ගැසීම ද ඔහු නතර නොකළේ ය.
අසූව දශකයේ තරුණ පිරිසට සයිමන් සමඟ සමීප ව කථාබහ කිරීමට දොළ දුකක් උපන්නේ ය. ඔවුන් මධුවිතට අවශ්‍ය දේ පිළියෙල කර ගත්තේ සයිමන් සමඟ බොහෝ දේ කථාබහ කිරීමට ය. මධුපානෝත්සවයට අවැසි සියලු දේ ඔවුන් පිළියෙල කළත් මධු බීමට වීදුරු ගැන සැලකිලිමත් වී නොතිබිණ.
ගල්කිස්ස මුහුදු වෙරළට යාමට පෙර ඔවුන් ආදරණීය නවගත්තේගමයන්ට මේ ගැන පැවසී ය. ගෙදර කැබිනෙට්ටුව ඇර වීදුරු කීපයක් ඔහු මේ තරුණයන්ට දුන්නේ ය.
එදා ගල්කිස්ස මුහුදු වෙරළේ සාජ්ජය ජයට ම සිදු විය. සරමකින් හා කමිසයකින් අති සාමාන්‍ය විදිහට එහි ගිය සයිමන් නවගත්තේගම දර්ශනය, ජීවිතය ගැන බොහෝ දේ කථා කළේ ය. රාත්‍රිය උදාවිය. වෑන් රථයේ රියදුරු ඔවුන් දමා ගියේ ය. ඒත් සයිමන් තව ම ඔවුන් සමඟ ය. අවසාන මොහොත දක්වා ම සයිමන් තරුණයන් සමඟ ම සිටියේ ය. දර්ශනය, මාක්ස්වාදය, නූතනවාදය ගැන දොඩමළු වූ ඔහු සියල්ල අවසානයේ තම නිවසින් ගෙන ආ වීදුරු ගැන ප්‍රශ්න කළේ ය. ඒ ඔහුගේ හැටි ය.
සයිමන් නවගත්තේගම බෙහෙවින් දුම්පානය කරයි. ඔහු ගන්නේ සිගරට් පැකට්ටුක් නොව බණ්ඩලයකි. එහෙත් පපුවට උරන්නේ නැති බව ඔහු පවසයි. එය සැබෑවකි. නාට්‍ය පුහුණුවීම්වලදී ඔහු සිගරැට්ටුවක් දල්වයි. හිටිවන ම බලාගත් අතේ ඔහු නළු නිළියන්ගේ පුහුණුවීම් අධ්‍යයනය කරයි. සිගරැට්ටුව ඉබේ ම අළු බවට පත් වෙයි. ඉක්බිති ව ඔහු තවත් සිගරැට්ටුවක් දල්වා ගනී.
නාට්‍ය පුහුණුවීම්වලදී ඔහු නළුනිළියන්ට මෙසේ කළ යුතු යැයි කිසිදු අණක් දී නැත. පිටපත ඇසුරින් චරිතය තේරුම් ගැනීමට ඔහු නළු නිළියන්ට උදව් කළේ ය.
පුහුණුවීම් අවස්ථාවලදී පිටතින් කිසිවකු එනවාට ඔහු දැඩි සේ විරුද්ධ විය. කොටින් ම එවැනි අවස්ථාවල පැමිණි මාධ්‍යවේදීන් ව පවා ඔහු එළවා දැමූ අවස්ථා තිබේ.
නාට්‍ය පුහුණුවීම් ඔහු නියමිත වෙලාවට ම පටන්ගත් අතර පරක්කු වී එන සැවොම තරාතිරම නොබලා එළවා දැම්මේ ය. එලෙස ම ප්‍රේක්ෂකයන්ගෙන් සිය නාට්‍යයට එන සියලු ප්‍රසංසා ඔහු පාත්‍රයන්ට ම ලබා දුන්නේ ය. අවසාන කාලයේදී ඔහු ජීවත් වූවේ මහල් නිවාසයේ උඩ ම තට්ටුවක ය. රෑ බෝවී සොයිසා පුර නිවසට එන විට ඔහුට බොහෝ විට තම නිවස අමතක වෙයි. ඔහු තට්ටු කරන්නේ වෙන නිවසකට ය. මෙය ඒ නිවාසවාසීන්ට හොඳට පුරුදු ය. ඔවුන් මහ රාත්‍රියේ වුවත් අංකල් මෙහෙ නෙවි උඩ ගෙදර යැයි කියන්නේ ඒ නිසා ය.
එක් දිනක් මාලිගාවත්තේ ජන උදා කාර්යාලයට වී ඔහු නවකථාවක් ලියන්නට විය. ලියන්නට ගත් විට ඔහුට අන් සියල්ල අමතක ය. එදින ද එසේ ය. පාන්දර වෙන තුරු ම ඔහු ලිව්වේය. ඔහුට බඩගිනි විය. සරම පිටින් ම මාලිගාවත්ත හන්දියට ගියේ ය. එහෙත් මිනිසුන් නැත. කඩ සියල්ල වසා දමා තිබේ. මුස්ලිම් කොල්ලකු පමණක් ඔහුට හමු විය.
”මහත්තයා අද අවුරුදු දැන් නොනගතේ”
සයිමන් ඔළුවට අත ගසා ගත්තේ ය. ලියන්නට ගිය විට ඔහුට කිසිවක් මතක නැත. එහෙත් එදා උදෑසන ඔහු හමුවීමට අවුරුදු කෑම පිඟානක් අතැතිව පැමිණියේ හිත හොඳ තරුණියක් ය.
සිංහල ජාතියේ වංශ කථාව සංසාරණ්‍ය සහ සයිමන් නවගත්තේගම කෘතිය ලියන කේ.කේ.සමන් කුමාර පවසන්නේ ශාස්ත්‍රාලීය හාන්සි පුටු කාටිසියානු විචාරයකට හෝ අධ්‍යයනයකට සයිමන් ගේ නිර්මාණ හසුකොට ගත නොහැකි බවයි. ඔහුගේ සාමාන්‍ය ජීවිතය ගැනත් කිව යුත්තේ එය ම ය.

ජීව දත්ත
නම :- සයිමන් නවගත්තේගම
මුල් නම :- හීන් මහත්තයා
උපන් දිනය :- 1940 සැප්තැම්බර් 15
උපන්ගම :- අනුරාධපුරයේ කුමාරවන්නි හත්පත්තුවේ නවගත්තේගම
මවගේ නම :- පුංචි
පියාගේ නම :- ආර්. නවගත්තේගම
පියාගේ රැකියාව :- ගොවිතැන
පාසල් අධ්‍යාපනය :-
1. නවගත්තේගම මිශ්‍ර පාසල
2. මහව මහා විද්‍යාලය
3. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
උසස් අධ්‍යාපනය :-
පේරාදෙණි විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ අතර පසුව විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධන පුර) විශ්ව විද්‍යාලයෙන් බී.ඒ. (ගෞරව) උපාධිය ලැබුවේ ය.
වෘත්තීය ජීවිතය :- 
* ඇත්ත කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෙකි.
* ආනමඩුව අතුරු මැතිවරණයට ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස මල ලකුණ යටතේ තරගවැද තිබේ.
* ජන උදා කාර්යාලයේ නිලධරයකු ලෙස සේවය කළේ ය.
විවාහය :
බිරිඳගේ නම :- මල්ලිකා කුලරත්න නවගත්තේගම
දරුවන් :-
සනී නවගත්තේගම (පුතා)
කුමාර කාශ්‍යප නවගත්තේගම (පුතා)
සුරනිමල නවගත්තේගම (පුතා)
අයේෂා සුබෝධනී (දුව)
ලිපිනය :-
බී 3/12
ද සොයිසාපුර මහල් නිවාස
සොයිසාපුර
මොරටුව
රඟපෑ චිත්‍රපට :-
සෙවණැලි ඇද මිනිස්සු (1980)
තුන්වැනි යාමය (1983)
ඩොරින්ගේ සයනය (1985)
බව දුක (1997)
බවකර්ම (1997)
සළුපට අහසට (1999)
කිනිහිරියා මල් (2001)
බඹර සැණකෙළි (2004)
ප්‍රේමවන්තයෝ (2004)
තිර රචනයෙන් දායක වූ චිත්‍රපට :-
සුද්දිලාගේ කතාව (1985)
සිරි මැදුර (1985)
සෙයිලම (1995)
මුලින් ම රඟපෑ වේදිකා නාට්‍යය :-
සහන් එලිය (1964)
නාට්‍ය පුහුණුව :-
ඔග්සොම්බල්
රොස්ටොක්
ජනතා නාට්‍යාගාරය
බර්ලින්
ජර්මනිය
විශේෂ :-
එක දිගට මිය ගිය දරුවන් හය දෙනෙකුට පසුව උපන් හත්වන දරුවා සයිමන් නවගත්තේගමය.
විපත :-
2005 ඔක්තෝබර් 09
කෙටිකතා :-
මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව
සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා
බාවනාව -
1991 හොඳම කෙටි කතා රාජ්‍ය සම්මාන
ස්වාධීන සාහිත්‍ය සම්මාන
සාංකාව - ස්වාධීන සාහිත්‍ය සම්මාන
නවකතා
සුද්දිලාගේ කතාව
සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා
දඩයක්කාරයාගේ කතාව
සංසාරාරණ්‍යයේ උරුමක්කාරයා
සාපේක්ෂනී
ක්ෂීර සාගරය කැළඹිණ
සංසාරාරණ්‍යය අසබඩ –
1998 හොඳම නවකතාව -
රාජ්‍ය සම්මාන සහ ස්වාධීන සාහිත්‍ය සම්මාන
ස්වර්ණ වන්නියේ වල්ලි අම්මලා (නොනිමි නවකතාව - ලක්බිම පුවත්පත)
නාට්‍ය
ගගන සරන කුරුල්ලනේ
පුස්ලෝඩං
සුදු සහ කළු හෙවත් වර්ණ
ගංගාවක්, සපත්තු කබලක් සහ මරණයක්
ස්ත්‍රී
පණ්ඩුකාභය
සුබ සහ යස
ලෝකෝත්‍ර
සුර ලොවට යට
චිත්‍රපට තිරනාටක
සුද්දිලාගේ කතාව
සිරිමැදුර
සාගර ජලය මදි හැඩුවා ඔබ සන්දා
සෙයිලම – 1995 හොඳම තිර රචන
සරසවි සිනමා සම්මාන
ගුවන්විදුලි නාට්‍ය
වානරයා
විචාර
සාහිත්‍යය, සමාජවාදය සහ කලා විචාරය
පරිවර්තන
බුද්ධිය, ප්‍රඥාව හා ශූන්‍යත්වය
සංවාදය, සංවිධානය සහ විප්ලවය
ළමා කතා
හිමාල කන්ද තරණය කළ
අර්ජුන කුමාරයාගේ කතන්දරේ
වෙනත් ග්‍රන්ථ
ආචාර්ය බ්‍රයන් ද ක්‍රෙට්සර් ඔහු, සහ ඔහුගේ අදහස් 


          ජගත් මාරසිංහ

Wednesday, May 29, 2013



                                        ?



මා තනිකර ඔබව සොයා ඔබ ගිය මග            වැරදුනාද

නැතිනම් මුතු මැනික් සපිරි අලුත් බිමක්        හමුඋණාද

සෙනසුරාව පිටු දැක්කම වැල්ලෙ බඹරෙ     කැරකුනාද 

තනිකම ජීවිතයම බව  දැන්වත් ඔබ               දන්නවාද 


පුතේ නුඹ නාඩන්න

ඇය මා දමා නොගියාය

ඇය පුතු දමා නොගියාය

ඇය ඇය සොයා ගියාය.



මාරේ

Monday, May 27, 2013

 
 
 


 
  
 

හිරගෙදර හූනා

 




මාරයාගේ සෙවනැල්ල දුටු ඒ යුගය කෙසේ නම් අමතක කළ හැකිද? සියලු පුවත්පත්වල සිරස්තලයන්හි මරණයේ සෙවණැල්ල හොල්මන් කරන්නට පටන් ගත්තේ ඒ කාලයේ සිට ය. විශ්වවිද්‍යාල වසා දැමූ අතර ක‍්‍රමයෙන් දේශපාලන සිරකරුවන්ගෙන් සිරගෙවල් පිරීතිරී ගියේ ය. තරුණ දූ දරුවන් ඇති දෙමවුපියෝ බෝධීන් වහන්සේ ගේ මුල් පෑදෙන තෙක් පැන් කළගෙඩි වක් කරන්නට වූහ.
රැඳවියන් යන නාමයෙන් අත්අඩංගුවට ගත්ත ද ඔව්හු සැබෑවට ම සිරකරුවෝ වූහ. රාජ්‍ය විරෝධීන් ලෙස සැක කළ හැකි සෑම අයෙක් ම සිර අඩස්සියට පත් වූවා සේ ය. උසාවියෙන් දඬුවම් ලබා පැමිණි පිරිසට සිර ඇඳුම වූ ජම්පරය හිමි වූ අතර සැකකරුවෝ සාමාන්‍ය ඇඳුමෙන් ම සැරසී සිටියහ.
දැවැන්ත සිර කඳවුරේ ඩී වාට්ටුව පිහිටා තිබුණේ බෝ ගසක් අසල ය. එය දෙමහල් ගොඩනැගිල්ලකි. රෝගී රැඳවියන්ව යටි මහලේ ෂෙල් කාමර තුළ රඳවා සිටියේය. මම උඩුමහලේ වාට්ටුවට කොටුවීම ගැන සතුටු වීමි. ඒ යකඩ කූරුවල එල්ලී ඈත බැලිය හැකි නිසා ය. උඩුමහලට පිට්ටනියක් සහ මුඩුක්කු පෙලක් ඈතින් දර්ශනය වේ. මේ මුඩුක්කු පෙල අතරින් වරින් වර හූ හඬ නගමින් පුංචි කෝච්චියක් ගමන් කරයි. මෙය අපට යම් අස්වැසිල්ලක් විය. යට මහලේ ෂෙල් කාමරවල රැඳවියන්ට පෙනුනේ අහස පමණි. කාකි පාට නිල ඇඳුමින් සැරසුණු ජේලර් ගාඩ්ලා බැටන් පොලු අතැති ව බෝගස යට ගල් බංකුවක් උඩ දිවා රාති‍්‍ර රාජකාරියේ නියැළෙයි. ඔවුන් මොහොතකට රාජකාරිය නිසා සිර ගත වූවා සේ ය.
ඉංග‍්‍රීසි වෛද්‍යවරයකු හැර විවිධ තරාතිරම් වල අය ඩී වාට්ටුව තුළ රඳවා තැබිණි. රැඳවියන් අතර වැඩි පුරම හිටියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ය. එහෙත් ඔවුන්ගෙන් බොහෝ අය කෙටි කලකින් නිදහස් වී ගියේ ය. කළ වරදක් හෝ නිදහස් වන කාලයක් ගැන නොදත් අපි ක‍්‍රමයෙන් ගැඹුරු වාද විවාද සංවාද විසංවාද අතර සැරි සරන්නට වීමු. දර්ශනය, දේශපාලනය, කලාව ගැන රැඳවියන්ගේ හඬ කොතරම් තීව‍්‍ර වූයේ ද යත් වරෙක වහලයේ සිටි පරෙවියන් පවා කුලප්පු වුණේ ය.
කාලය යනු කුමක් දැයි සිරකරුවෙකුට කවදත් ප‍්‍රශ්නයකි. ඔරලෝසුවේ කටු නිවැරදි කාලය වාර්තා කළ ද සිපිරිගෙය තුළ කාලය ගෙවී යන්නේ බොහෝ සෙමින් ය. කාලයත්, මනසත් තුළ ඇති ගූඩත්වය අවබෝධ කර ගැනීමට පැය කාලක්වත් සිරගත වීම හොඳටෝ ම ප‍්‍රමාණවත් ය.
දුහුල්ලෑවගේ වයස අවුරුදු විසි අටකි. වයසට වඩා මේරූ මුහුණක් ඇති ඔහු තලඑළලු ය. උසය; නිතර ම කෙස් අවුල් වී තිබේ. නෙත් තරමක් විශාල ය. දුහුල්ලෑව කිසිම දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටියේ නැත. එහෙත් ඔහු මාක්ස්වාදයට ගරු කළේ ය. එකළ දේශපාලන සිර ගෙදරක ගාල් වීමට එය ප‍්‍රමාණවත් ය. වාට්ටුව පුරා එහෙ මෙහේ සක්මන් කරන ඔහු වරෙක නැවතී හිටගෙන ම වාද විවාද වලට සවන් යොමු කරයි. මුලදී බොහෝ අය ඔහු සී.අයි.ඩී. කාරයෙකු ලෙස සැක කළේ ය. කල් පසුවන විට ඔහු දර්ශනී කියමින් සිහිනෙන් හඬන්නට විය. දර්ශනී යනු ඔහුගේ ආදර පෙම්වතියයි. ඔහු පිළිබඳ අනෙකුත් දේශපාලන රැඳවියන්ට තිබූ සැකය ඔහුගේ කඳුළුවලින් ම සේදී ගියේ ය.
ජීවිතයේ සියලු බලාපොරොත්තු සුන් කර දමා නිදා ගන්නට පැදුරක් හෝ රෙට්ටුවකුත්, හිසට තැලී ගිය කොට්ටයකුත් දිය නෑමට කබල් ටින් එකකුත් දී සිරගත කරන සිරකරුවෙකුගේ මානසිකත්වය ගැන අවබෝධ කරගත හැක්කේ සිරගත වූවෙකුට ම පමණි. එහෙත් ඔව්හු අවට පරිසරයෙන් අත්‍යවශ්‍ය උපයෝගිතා උපකරණ රහසේ නිෂ්පාදනය කර ගනිති. දේශපාලන රැඳවියෙකුට නිදහස යනු ඒ මොහොතට වචනයක් පමණි. සමහර විට නිදහස යනු මරණය වන්නට ද බොහෝ දුරට ඉඩ තිබේ. එහෙත් නිදහස ගැන සිතමින් ම ඔව්හු සිරගත කාලය ගෙවා දමයි. දේශපාලන රැඳවියන්ගේ කාංසාවේ ගැඹුර කෙතෙක් ද, එපමණක් ටම සිරගෙදර පොත පතින් ආඪ්‍ය වේ. එහෙත් දුහුල්ලෑව කිසි විටක පොත් ගුල්ලෙක් වූයේ නැත. ඔහු ඔහුගේ පෙම්වතිය ගැන ප‍්‍රසිද්ධියේ සිතමින් කාලය ගත කළේ ය. ඔහුගේ සැප දුක් සොයන්නට වැඩිපුර ම විසිට් ආවේ ද පෙම්වතිය පමණි. ඇය පැමිණි දින ඔහු සතුටින් කාලය ගත කරයි. ඉක්බිති ඒ සතුට සදය සතුටක් බවට පත්වේ.
දිනක් බන්ධනාගාර රෝහලේ ප‍්‍රතිකාර ලබන රැඳවියන් ගේ අතපය මාංචුවලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන් විසින් එක් දින ආහාර වර්ජනයක් දියත් කරන ලදී. එදින කුස ගින්නේ උවත් සතුටින් සිටියේ දුහුල්ලෑව පමණි. ඒ එදා ඇයගේ පෙම්වතිය විසිට් එකට පැමිණි නිසා ය.
“දුහුල්ලෑව බඩගිනි එහෙම නැද්ද?”
“ගිනි නම් අද ටිකක් අඩුයි.”
“අද කෑල්ල විසිට් එකට ආපු හින්දා වෙන්නැති”
“ඒකි කවදාවත් නෑවිත් ඉන්නෙ නෑ”
“කවද හරි එයා වෙනස් උනොත්”
“මට ඉර හදටත් වඩා විශ්වාසයි.”
“කොහොමද එයාව හම්බ උනේ.”
“ඇත්ත දේශපාලනය හොයන්න ගිහිල්ල. අසාධාරණේට විරුද්ධව සටන් කරන්න ගිහිල්ල. හැබැයි එයාව හම්බ උනාට පස්සෙ මට දේශාලනය දෙවෙනි අංකය වුණා.”
“කොච්චර කල් ද”
“ලබන නවවෙනිදට හරියටම අවුරුදු පහයි”
“තාම කසාද බැඳල නැද්ද”
“විශ්වාසය තියනව නම් බඳින්නෙ මොකටද? නොබැන්දත් බැන්ද වගේ තමයි. දරුවෙක් විතරයි අඩු.”
“දරුවෙක් හදන්න බලාපොරොත්තුවක් නැද්ද?”
“දරුවො හදන්න නිදහස් වෙන්න එපෑ”
ඔහුගේ කතාවෙන් මගේ මනස බොහෝ කලකිරුණේ ය. ඒ මා සිරගත වී තුන් මසකින් වගේ පෙම්වතිය මා හැර ගිය නිසා ය. මට දුහුල්ලෑව කෙරෙහි සියුම් ඊර්ෂ්‍යාවක් ඇති විය. මම අවේලාවේ නිදාගන්නට තැත් කළෙමි. එහෙත් නින්ද මා අසලකටවත් පැමිණියේ නැත. දුහුල්ලෑව කොතරම් වාසනාවන්තයෙක් දැයි යන සිතුවිල්ල මට බොහෝ කරදර කළේ ය.
වසා තිබෙන සෝඩා බෝතලයක් සෙලව්වාමෙන් තත්ත්වයක් රැඳවියන් තුළ විද්‍යාමාන වූ දින කීපයක් උදා විය.
ඒ ඉන්දියන් නැව් කීපයක් අප රට අසල සාගරයේ නැංගුරම් ලා තිබි කාලයයි.
“ඉන්දියන් හමුදාව අපේ මුහුදු සීමාව අසලට ඇවිත්ලලු”
“ඉතින් මට මොකෝ” දුහුල්ලෑව සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නේ ය.
“බලවත් රටක් දුර්වල රටක් ආක‍්‍රමණය කරපුවා ම ඉස්සරල ම පෝලිං ගස්සල මරල දාන්නෙ දේශපාලන රැඳවියන් ව.”
“මගේ අංක එක මම නෙවේ දර්ශනී. අංක දෙක රට. ඒ මගේ සමාජවාදය”
“අපි හිතුවෙ දුහුල්ලෑවට අංක එක ඔය බිත්තියේ ඉන්න හූන කියල”
කාංසාව නිසාදෝ බොහෝ විට හිරකරුවෝ විවිධ සතුන්ට සමීප වේ. ඕනෑම සිර කඳවුරක විශාල බළල් පරම්පරාවක් වාසය කරයි. ඒ හැම බළලෙකුටම අයිතිකාරයකු සිටී. පරවියන් කපුටන් පමණක් නොව සමහරු පොල්කිච්චන් සමඟ ද මිතුරු වී සිටී. එහෙත් දුහුල්ලෑවගේ මිත‍්‍රයා වූයේ හූනෙකි. ඉරට්ටෙන් බත් කවා යාළු කරගත් හූනා දැන් දුහුල්ලෑව කෑම කන විට කොට්ටය දිගේ විත් ඔඩොක්කුවට ද පනී. පූසෝ ඈතට වී බලා සිටින්නේ දුහුල්ලෑවගේ පා පහරේ තරම දන්නා නිසා ය.
“මොකද ඔය හූනට ඔච්චර ලව්”
“සහෝදරයා මට හූනො විශේෂයි. මගෙ දර්ශනීගෙ දකුණු පයේ හූනෙකුගෙ හැඩේ උපන් ලපයක් තියනව. ඉතින් මම එයාට හූනි කියනව. එතකොට එයා මට හූන කියනව.”
එක් දිනක් දුහුල්ලෑවටත් මටත් එක ම වේලාවට විසිට් එක ලැබිණි. එදින ඔහු බැලීමට පැමිණ සිටියේ දර්ශනී ය. ඇය පැහැපත් ය. සිහින් ය; තරමක් උස ය; අක්බඹරු කෙස් කළඹ තද කළු පැහැති ය; නීල වර්ණ දිගටි දෙනෙත් ය. ඔහු දර්ශනී ව මට හඳුන්වා දුන්නේ ය. ජේලර් ගාඩ් තැනට ඇති වෙනකම් අපි කතා බහ කළෙමු. නිදහස ලැබුණු පසු ඔවුනගේ නිවසට එන ලෙස ඇය මට ආරාධනාවක් ද කළා ය. විසිට් එක නිම වී මිදුලට විත් ඔහු ඇයගේ දකුණු පාදයේ බත්කෙන්දේ පිහිටා තිබී හූනෙකුගේ හැඩයේ උපන් ලපය මට පෙන්වන විට අසල සිටි ජේලර් ගාඩ් තැන උපහාසාත්මක සිනහවක් පල කළේ ය.
තවත් දිනක රැඳවියන් තුළ අමුතු ම ප‍්‍රබෝධයක් මම දුටිමි. ඒ වාට්ටුවට අමුත්තෙක් පැමිණ එහේ මෙහේ සැරි සරන්නට වූ හෙයිනි. අමුත්තා වනාහී තරමක් විශාල වර්ණවත් මල් පෙත්තෙකි. බොහෝ රැඳවියෝ රේට්ටු මත එරමිණියාවෙන් හිඳ උපේක්ෂාවෙන් මල් පෙත්තා යන යන දෙස බලා සිටියහ. විනාඩි තුනක ආස්වාදය සැපයූ මල් පෙත්තා ජනෙල් කූරු අතරින් එළිමහනට ගියේ ය. මොහොතකට මහා පාලුවක් ඇති විය. යකඩ කූරුවල එල්ලී එළියට ගිය මල්පෙත්තා දෙස බලා සිටියේ දුහුල්ලෑව පමණි.
“සමනලයා කොහෙද ගියේ”
“නෑ මම මේ බලන් හිටියෙ ඌ හිරගෙදර නරඹල මල්වල පැණිත් බීල නිදහසේ තාප්පය උඩින් එළියට ගියා. අපට වඩා ඌට නිදහස තියනව“
“ඕක මොකක්ද දුහුල්ලෑව. මම දවසක් බෝගහේ කොල වැටෙන දිහා බලාගෙන හිටිය. වේලිච්ච බෝ කොලයක් නිදහසේ තාප්පය උඩින් එළියට පාවෙලා යනව දැකල මගෙ සර්වාංගෙ ම හිරි වැටුණා.
ඉක්බිති අපි කීප දෙනෙක් පරාරෝපණ සංකල්පය ගැන බොහෝ දේ කතා කෙරුවෙමු. එහෙත් දුහුල්ලෑව බරට ම වැඩ ය. ඔහු පරණ දත් බුරුසු කපා බිම අතුල්ලමින් පෝනි කටු සාදයි. ඒ දර්ශනීට තෑගි කරන්නට ය. දර්ශනී ළඟ මේ වනවිට පෝනිකටු සියයකටත් වඩා තිබිය යුතු ය. ඇය ද විසිට් එන විට ඔහුගේ සුරතින් නිම වූ පෝනි කටු පැළඳ එයි. එයින් ඔහු ලබන සතුට කෙබඳු විය හැකි ද?
“ඔච්චර ආදරේ කරල කවද හරි වෙන්වෙන්න උනොත් ඔයා මැරෙයිනෙ”
“නැහැ. එහෙම වෙන්නෙ නැහැ. ඒකි පර්ස් එකේ දාගෙන ඉන්නෙ කාල්මාක්ස්ගෙයි, බුදුන්ගෙයි, මගෙයි ෆොටෝ. එයා මටත් ආදරෙයි. රටටත් ආදරෙයි. ඉන්දියන් හමුදාව ලංකාවට ආපු දවසෙ එයා ගොඩක් අඬල තියනව. එයාට හොඳ දේශපාලන ඥානයකුත් තියනව. දර්ශනී කියන්නෙ සාමාන්‍ය කෙල්ලක් නෙමේ.”
පමණට වඩා මහත් වූ ප‍්‍රසන්න මුහුණක් ඇති ජේලර් ගාඩ්වරයා පැමිණ බැටන් පොල්ලෙන් දොරට ගසන්නට විය. වාට්ටුව නිශ්ශබ්ද විය. කුමක් හෝ විශේෂ නිවේදනයක් බව දන්නා රැඳවියෝ එක එල්ලේ ඔහු දෙස බලා සිටියෝ ය.
“අංක එකසිය පනස් නමය...
ආ තමුසෙද?... නිදහස්”
සියලු රැඳවියෝ දුහුල්ලෑව වට කරගෙන සුබ පතන්නට වූහ. ඔහුගේ ප‍්‍රබෝධමත් මුහුණ දෙස කවුරුත් උනන්දුවෙන් බලා සිටියෝ ය. ඇඳ පැළඳ ගත් දුහුල්ලෑව මහ හඩින් හඬන්නට විය. රැඳවියෝ රහසේ තමන්ගේ කඳුළු පිස දා ගත් හ. සියලු රැඳවියන්ව සිප වැළඳ ගත් ඔහු බිත්තිය අයිනට ගොස් සීලිමට ආයුබෝවන් කීවේ ය.
“අනේ සහෝදරවරු මගෙ හූන ව හොඳින් බලාගන්න.”
රැඳවියෝ එකිනෙකාගේ මුහුණ බලා ගත්හ. නිදහස් වූ පසු ඔහුගේ ගෙදර එන ලෙස මගේ අත අල්ලා නැවත ඉල්ලා සිටියේ ය. ඔහු හඬමින් ද, අත වනමින් ද පස්සෙන් පස්සට ගොස් ගේට්ටුවෙන් පිට විය.
පැය දෙකකට පමණ පසු මහත ජේලර් තැන හැඟීම් බර මුහුණෙන් ගල් බංකුවේ වාඩි විය. කුමක් හෝ හෝඩුවාවක් බව දැනගත් රැඳවියෝ ඔහු වටා රොක් වූහ.
මිනිහ ගෙදර යන්න පාරට බහිද්දි ම අංක තහඩු නැති වෑන් එකක් නවත්තල මිනිහ ව දාගෙන ගිහිල්ලා”
සියල්ලෝ ම මරු විකල්ලෙන් මෙන් කසු කුසු ගාන්නට වූහ. සතියක් පමණ ගතවන විට වාට්ටුව සාමාන්‍ය තත්ත්වයට පත් වූ අතර විටින් විට දුහුල්ලෑව ගැන නොයෙක් කතන්දර ගොතන්නට විය. මම පමණක් නිහඬ ව සිටියෙමි. හිර ගෙදර තුළ තොරතුරුවලට කම්බි යන වචනය ව්‍යාහාර වේ. ජනමාධ්‍යවලටත් පෙර හිරගෙදරට කම්බි ලැබෙන්නේ කෙසේද යන්න වෙන ම හැදෑරිය යුතු කාරණයකි. කම්බි ගෙනෙන ගාඩ් තැන ටික කලකට පසු නැවතත් ගාම්භීර මුහුණින් ගල් බංකුව මත වාඩි විය.
“අර හාදය ව මරල ගෑනිගෙ ගේ ඉස්සරහ ටයර් සෑයක පුච්චල දාල.”
රැඳවියන් අතර සිටි විප්ලවවාදී හිමි නම වහා උඩු මහලේ කාලකන්නි සඳලුතලයට නැග ආවේගශීලී කතාවක් කළේ ය. ඉක්බිති රැඳවියෝ දින දෙකක ආහාර වර්ජනය කරන්නට කතිකා කර ගත්හ. අපි කුසගින්නේ සිට යටි ගිරියෙන් කෑ ගසමින් කෝපය පළ කෙරුවෙමු.
මම දුහුල්ලෑවගෙන් හිස් වූ බිම් තීරයේ මගේ රෙට්ටුව එලා ගතිමි. එහෙත් හූනා නිකමටවත් පහලට බැස්සේ නැත. මම දුහුල්ලෑව ම අනුගමනය කළෙමි. ඉරට්ටුවක් ගෙන බත් ඇට ගසා කන්නට දී ටික ටික හූනා ව පහළට ගන්නට තැත් කළෙමි. හූනා දකින හැම විට ම මගේ හදවත වෙව්ලුම් කා දර්ශනී ව සිහියට නැගේ. දුහුල්ලෑවටත් වඩා මට දර්ශනී ව සිහිවන්නේ ඇයි දැයි මම නොදනිමි. මා රැඳවියන් ට හොරෙන් කඳුළු පිසදා ගත් අවස්ථා ද නැත්තේ නොවේ, දැන් හූනා කොට්ටයට බැස රෙට්ටුව දිගේ මා අසලට පැමිණේ. නිදහස් වූ විගස දර්ශනී ව සොයා ගොස් දුහුල්ලෑවගේ විස්තර කතා බහ කර හූනා ව ඇයට දීමට මම තීරණය කළෙමි. දැන් හූනා සහ මගේ ජීවිතය අතරත් මහා බැඳීමක් ඇති වී තිබේ. මහත ජේලර් තැන ගේට්ටුවට ගසා මගේ අංකය කියා නිදහස් කියන දවස කවදා උදාවිය හැකි ද? පෙට්ටියක දැමූ හූනා දර්ශනීට දුන් පසු ඇගේ ප‍්‍රතිචාරය කෙබඳු විය හැකිද?



Saturday, May 25, 2013


Saturday, April 28, 2012


පූසා සහ මාරේ

මේ මොහොතේ විතරක් ජීවත් වීම..... මං අපේ පූසා දිහා බලාගෙන හිතුවා.  ඕන කතාවක ඌට වැදගත් වෙන්නෙ උගේ නම කියන කොටස විතරයි. ඒක ඇහිච්ච ගමන් ඌ හැරිලා බලනවා. හරියටම ඒක ඌට ඇහෙන්නෙ ‘කෑම’ කියන සද්දෙට. ඒත් කෑමක් නෙමෙයි කියල තේරුං ගත්තට පස්සෙත් ඒ වචනෙ ඇහෙන හැම පාරකම ඌ වලිගෙ ටිකක් හරි වනනවා.  ඕන කතාවක ඉතුරු ටික ඌට අනුව ‘මිනිස්සුන්ගෙ මනස්ගාත’ විතරයි.

ඌ නිදාගන්නවා. ඒක තමයි ප‍්‍රධාන දේ. පූසෙක්ගෙ නින්ද තරම් බලන් ඉන්න ලස්සන දෙයක් තවත් නෑ. ඒක ඒ තරං පට්ට සනීප නින්දක්. ඒ ඇරුණම කනවා. විනෝදෙට දඩයම් කරනවා. රෑට අවලමේ යනවා. උදේට ආයිමත් පිවිතුරු කන්‍යාවක් වගේ වෙනවා. කිසි කෙනෙකුට, කිසි රීතියකට පූසෙක් අවනත වෙන්නෙ නෑ. ආදරේ කියන්නෙ ඌට බයිට් එකක් විතරයි. කිසිම විදිහකින් කෑම ගැන ගණුදෙනුවක් ඇරුණම ඇති කරන එකාට මොනම පක්ෂපාත බවක් වත් නෑ. ඒත් ඌට ආදරේ කරන එකෙන් ගැලවෙන්න අපිට බෑ. උගේ හැම වනචර ගතියක්ම හරිම ලස්සනයි. ඒක ඌටම ආවේණිකයි. කිසි තැනක කොපි කිරිල්ලක් නෑ.බල්ලො ඒ අතින් හරි මෝඩයි. දුකම විතරයි. මිනි්ස්සුන්ගෙ දුක්ඛිතකමට ඒක හරි ළඟයි.

අතීතයක් හෝ අනාගතයක් විසින් තීරණය නොකළ අලූත්ම අලූත් වර්තමාන මොහොතක් එක්ක ජීවත් වීමේ මට අහිමි ඌට හිමි ආනන්දය මං අපේ පූසා දිහා බලාගෙන වින්ඳා.

ඊයේ රෑ ගෙදර එද්දි ‘මාරයා’ කතා කළා. මාරයා කියන්නෙ ජගත් මාරසිංහ. මාරයා හුඟක් බොනවා. දරා ගන්න බැරි මානව සංවේදිතාවකින් ඌ දුක් විඳිනවා. ඒකට තව බොනවා. බීලා යාලූවන්ට කතා කරනවා. එකදිගට පැය ගණන් කතා කරන හින්ද යාලූවො කට් කරනවා. ඒත් මාරෙ ආයිමත් කතා කරනවා. ඒ කවදාවත් කතා කරන්නෙ පුද්ගලික විස්තර ගැන නෙමෙයි.

මාරෙ දැන් ඉන්නෙ තනියම. ‘අක්කා’ මාරෙ දාලා යන්න ගියා. අවුරුදු පනහෙදිත් ඒකට මාරෙ දාසයේ කොල්ලෙක් වගේ ඇඬුවා. මං හුඟක් කැමති ඌ කතා කරලා අක්කට කුණුහරුපෙන් බනිද්දි. ‘තෝව මං මරනවා’ මාරෙ අඬ අඬා කියනවා. ඒත් ඒක අක්කට ඇහෙන්නෙ තර්ජනයක් විදිහට විතරයි. ඒක ඇතුලෙ ආදරේ එයාට තේරෙන්නෙ නෑ.

මාරෙ එක්ක ජීවත් වෙන්න අමාරුයි. ඒකෙ දෙකක් නෑ. යාලූවො විදිහට අපිට වුණත් ඌව නිතර මුණගැහෙන්න අමාරුයි. ඌ හරිම වල් සතෙක්. මටම හිතාගන්න බැරි තරං ලංකාව ගැන දැනුමක් සිංහලෙන් කියවලා දරාගෙන ඌ ජීවත් වෙනවා. ජීවත් වෙනවා කියන වචනෙ මෙතනදි හැට හයයි අනූ නමය ඇතුළට දාන්න  ඕනි. මොකද රටේ සිද්ද වෙන හැම දෙයක් ගැනම ඌට උගේ විචාරයක් තියෙනවා. ඒ කියන්නෙ මාරෙ වටපිටාව ගැන පූර්ණ අවධානයක් ඇතුව ගත වෙනවා. එහෙම නැතුව නිකං උපන්නාට මේ ලොව වැනෙනවා විනා වර්ගයේ ජීවත් වෙන උන් දැන් ඉන්නෙ තොග පිටින්.

මහින්ද ආණ්ඩුවට එද්දි මාරෙ මහින්දට කැමති වුණා. ලේක් හවුස් එකටත් ගියා. ඒත් මහින්ද ගැන ලිව්වෙ නෑ. ඌ උගේ සිංහල ගැන තියෙන වෙනස් අදහස් ඒ කාලෙදි ලිහලා අතෑරියා. මාරෙ සිංහල බෞද්ධයෙක්. ඒත් ඌ චම්පික රණවක හරි අමරසේකර හරි වගේ බූරු බෞද්ධයෙක් නෙමෙයි. උගේ කියවීම අන්තර්ජාතිකමය කියවීමක් එක්ක වලංගුයි. ඒක අලූත්. අරගලකාරීයි. ඒත් මාරෙට වැරදිච්ච තැන අපි කොහොම ඒක කිව්වත් මිනිස්සුන්ට ඒක ඇහෙන්නෙ අර ලොකු සද්දෙ ඇතුලටම එකතු වෙලා කියන එක. ඒක තේරුණට පස්සෙ මාරෙ ලේක් හවුස් එකෙන් එලියට ආවා.

මාරෙ සයිමන් ගැන ලිව්වා. ‘මේ මොක්කුද බං සයිමන් ගැන ලියන්නෙ? උන් මොනාද මේ සයිමන් ගැන ලියන්නෙ?’ මාරෙ කේකේ සයිමන් ගැන ලිව්වම බැන්නා.
‘මචං, දවසක් මං සයිමන් එක්ක හොඳට බීලා එනවා. අඟුළානෙදි සයිමන් නැවතුණා ලොතරැුයි කඬේ ළඟ. එතන ඉඳන් අර හූරන ලොතරැුයි අරං හූරනවා.
‘මාරෙ හූරන්න’ එයා මටත් අරං දෙනවා.
‘මොනාද සර්, මෙතන හු..... නැතුව ගෙදර යංකො’ කිය කිය මාත් හූරනවා.
එයා සල්ලි ඉවර වෙනකල්ම හූරගෙන යනවා. ඇදෙන සල්ලි වලින් තව ලොතරැුයි අරං හූරනවා. මං බොද්දි දැනගත්තා එයා ළඟ තියෙන්නෙ රුපියල් දෙසීයයි. අන්තිමට මහජන සම්පත දෙකකුත් අරං එයා වැඬේ නැවැත්තුවා. සල්ලි ඉවරයි. මගේ සාක්කුවට එකක් දාලා එයා අනිත් එක දාගත්තා.

‘මාරෙ දැන් දස ලක්ෂපතියෙක්’ කියල හිනාවෙලා වැනි වැනි ආයිමත් යන්න ගත්ත.

‘මොනවා වුණත් සාක්කුවෙ බලාපොරොත්තුවක් තියෙන කොට මාරයි මාරෙ’ සයිමන් ඒ යන ගමන් කිව්වා.

මරුනෙ මචං’ මාරෙ බිව්වම සයිමන් ගැන එක දිගට කියාගෙන යනවා. ‘මචං සයිමන් කියන්නෙ ජීවත් වුණෙ තන්ත‍්‍රයානය එක්ක. මෙහෙ වෙන කවුරුවත් නෑ එහෙම ජීවිතයක් තියෙන පොරවල්. මුං පුස්සොනෙ’

මං ලියාගෙන යන කතාව දිහා ආපහු බැලූවා. හරි වින්ටේජ් ගතියක් තියෙන්නෙ. පෝර්න් වල වුණත් මං ගොඩක් කැමති වින්ටේජ් වලට.

‘සයිමන් කිව්වා මචං කවදාවත් ආර්ට් ට‍්‍රාන්ස්ලේට් කරන්න බෑ කියල. පරිවර්තනය නෙමෙයි, අනුවර්තනය කරන්නත් බෑ. සයිමන්  ඕක ලස්සනට කියනවා. නාට්‍යකාරයානෙ. ‘ටු බී  ඕර් නොට් ටු බී’ මචං හැම්ලට් නාට්ටියෙ එන ඔය අදහස කොහොමද පරිවර්තනය කරන්නෙ? ජීවිත එහෙම පරිවර්තනය කරන්න බෑ. වචන විතරක් පරිවර්තනය කරන්න පුළුවන්’

‘මරුනෙ මචං’ මාරෙ හැම කතාවක්ම ඉවර කරන්නෙ එහෙම.

මාරෙ පොත් ලිව්වා. ජ්‍යොතිශය එක්ක හොඳ අඩව්වක් ඇල්ලූවා. ‘මාරෙ කියන කේන්දර හරිද?’ සමහරු මගෙන් ඇහුවා.

‘කේන්දරවල හරි වැරදි මං දන්නෙ නෑ. ඒත් ඒක වෙන ආර්ට් එකක්. ඒක තියෙන්නෙ විඳින්න දන්න උන්ට විතරයි’ මං කියන්නෙ එහෙම.

‘කැත කතුන්ගෙ පතිවත’ දීප්ති කියන විදිහට මාරෙගෙ ‘එසේ ’(රචනා) පොත.
‘මචං, ලංකාවෙ කැත ගෑණු තමයි පතිවත ආරක්‍ෂා කරන්නෙ. ඒාක උන්ට වටිනවා වුණාට කාටවත් වැඩක් නෑනෙ’  මාරෙ මහපාරෙ ප‍්‍රඥාව ගැන කතා ගොඩක් කියනවා. ඇල්කොහොලික් ගැන හොඳම විස්තර මං කියෙව්වෙත් ‘මධුලෝලත්වයෙ ව්‍යාකරණය’ එක්ක. මධුලෝලත්වය කියන්නෙ වෙනස් ජීවිත ක‍්‍රමයක් වෙනකල් මාරෙ එයාගෙ ජීවිතේ ඇතුලෙන් තර්ක කරනවා. පරත්තෙ කැලේකට වෙලා හිටියත් ඒ තර්ක හරි බොහිමියන් තර්ක. බොරු දර්ශනවාද වෙනුවට ජීවිතේ ඇතුලෙ ගහපු කැරලි.

මාරෙට ජීවිතේ දැනෙන්නෙ සංවාදයක් ඇතුලෙ. සංවාදයක් අහිමි වීම ‘මරණය’ බාර ගන්න ඌ ලෑස්ති නෑ. ඒත් ලංකාවෙ ජීවිතේ සංවාද විසංවාද මොකක්වත් නැති මෙගා නාට්ටියක් තැනට ආවා. මාරෙ තාමත් තමන්ට අහිමි සංවාදය වෙනුවෙන් කෝල් කරනවා.

මොකද්ද මේ ‘මාර’ සංකීරණය?

දවසක් බස් එකේ යන ගමන් මාරෙගෙන් ආපු කෝල් එකක් කට් කරලා මං කල්පනා කෙරුවා. මොකද්ද මේ මගෙන් ඉල්ලන මට නොතේරෙන උදව්ව? මං ? ජොයින්ට් එකක් දාලත් කල්පනා කෙරුවා.

මාරෙ වාමාංශිකයෙක්. හැමදාම ගෙදර වෙනුවට එළිය/සමාජය තෝර ගත්ත එකෙක්. මාරෙට තියෙන්නෙ දේශපාලන ජීවිතයක්.. පවුල් වුණාට පස්සෙත් අනිත් හු`ගක් අයගෙ වගේ මාරෙගෙ ඒ සමාජ ජීවිතේ කැන්සල් වුණේ නෑ. එයා එයාගෙ ආධ්‍යාත්මික ඇම්ම ඇතුලෙ ඇත්ත ජීවිතේ මේසෙ උඩට ගෙනාවා. විසංයෝජනය කරලා බලන්න. ඇත්ත කියල හිතන හැම තියරියක්ම ඇත්තද කියල ජීවිතේ ඇතුලෙන් ටෙස්ට් කළා. ලංකාවෙ සිංහල බෞද්ධ සමාජයේ කුහකකමට එහෙම්පිටින්ම ප‍්‍රතිවිරුද්ධ පැවැත්මක් ඌට තිබුණෙ.

‘මං බීපු හින්ද ජේවීපී එකෙන් මාව ගත්තෙ නෑ. බොන හින්ද හමුදාවෙන් මාව මැරුවෙ නෑ’
මාරෙ මේ පිටස්තරකම ගැන කියනවා. ඒත් ඌ එහෙම විශ්වාස කරපු සමාජයක් එලියෙ ඇත්තට තිබුණෙ නෑ. පුද්ගලික පවුල කියන එක ඇතුලට මුලූ සමාජෙම ඇකිළුණා. මාරෙ තනියම එලියෙ ඉතුරු වුණා. සමාජ ව්‍යාපාර, කතිකා ඔක්කොම අහෝසි වෙච්ච කාන්තාරෙක බාගයක් තියාගෙන මාරෙ බලන් ඉන්න පටන් ගත්තා. හැම පුද්ගලික ජීවිතේකටම ඌ කරදරයක් වුණා. පුද්ගලික ටෙලිෆෝන් කෝල් දිගේ දේශපාලන ප‍්‍රශ්න සාකච්ඡුා කරන්න ගත්තා. ඒක රෝගයක්. අන්තිමට කෙළවර වුණේ එතන.

ඒත් මිනිහෙක් සමාජ සංවාදයක් ඉල්ලන එක ලෙඩක් වෙන්නෙ කොහොමද? මගේ පුද්ගලිකත්වය ඇතුලෙ මාරෙ ගෙ පොදු සංවාදය දරා ගන්න බැරි එක ගැන මට ලැජ්ජයි.

කොහොම වුණත් මාරෙ මට ආයිමත් කතා කළා. ඊයෙ රෑ.

‘මං ලංකෝනිස්ට කෙලින්ම කිව්වා මචං. නිකං අපිට පච කෙලින්න  ඕන නෑනෙ. මට  ඕකුන්ගෙ බොරු සිංහල බෞද්දකම ඇති වෙලා’

මාරෙ කෙලින්ම පටන් ගන්නෙ ප‍්‍රශ්නෙ ඌට අදාල කොටසින්.

‘මං ඌට කෙලින් කිව්වා, රෝමානු කතෝලික ආගම කොපි කරලා හදපු පන්සිල් උඩ ජීවත් වෙන බොරු බෞද්දයෝ කියල. ඇත්තනේ මචං

රෝමානු කතෝලික ආගම කළෙත් ජඩ වැඬේ. උන් අර ඇණ ගහලා මරපු කැරලිකාරයාව අල්ලලා ආයිමත් මෝසෙස්ට යටත් කළා. ඌව දෙයියන්ගෙ පුතා කළා. කැරැුල්ල ඉවරයිනෙ එතනින්. ඊට පස්සෙ දෙවියො කෙලින්ම කියනවා කියල දස පණත ගෙනාවා. ඒක ලංකාවෙ වගේ රටවල නැගලා ගියා. දෙයියො කෙලින්ම කියන එකනෙ. බුද්ධාගමට යන එන මං නැති වුණා. ඔන්න එතකොට මුං ටික එකතු වෙලා පංච ශීලය කියල එකක් හදා ගත්තා. බුදු හාමුදුරුවො කොතනකවත් ඔය පන්සිල් කියල එකක් කියල නෑ. මං කෙලින්ම කිව්වා පුළුවන් නං පෙන්නන්න කියල ත‍්‍රිපිටකයෙ කොතනින් වත් බුදුන් පන්සිල් ගැන කියපු එකක්.
මචං, පන්සිල් නරක නෑ. ඒක සමාජෙ සංවිධානය වෙන්න වැදගත් වෙන්න පුළුවන්. ඒත් අපිට ඔය බොරු පාට් දාන්න  ඕන නෑනෙ. අපි පන්සිල් බෞද්ධයො නෙමෙයි නෙ මචං’
මාරෙ සම්පූර්ණ තර්කෙම මට කියාගෙන යනවා. මං පාර අයිනෙ බස් හෝල්ට් එකකට වෙලා අහගෙන ඉන්නවා. කවුරුත් නැති පාල බස් ස්ටෑන්ඞ් එකක මහ රෑ පන්සිල් ගැන ෆෝන් කෝල් එකක් අහන් ඉන්න එකත් මාරයි.

‘මචං, මුං කරන්නෙ ලොකු පචයක්. ලංකාවෙ බුද්ධාගමට හරි සිංහලකමට හරි ඇත්තට දෙයක් කළා නං ඒක කෙරුවෙ යූඑන්පී එකෙන්. මිරිසවැටිය, රුවන්වැලිසෑය ගරා වැටිලා තියෙද්දි හැදුවෙ උන්. ගොවියන්ට කිය කිය මුන් කෑ ගැහුවට ගොවි ණය මුලින්ම ගෙනාවෙත් යූඑන්පී එකෙන්. ලේඛනාරක්‍ෂකේ හැදුවෙ කවුද? විවෘත ආර්ථිකේට බොරුවට කෑ ගහනවා මුං දැන්. විවෘත ආර්ථිකේ තිබ්බෙ නැත්තං මුං ඔය යුද්දෙ ඉවර කරන්නද? ඔක්කොම වාරි මාර්ග ක‍්‍රම හැදුවෙ යූඇන්පී එකෙන්. මුං මේ මොනාද කරන්නෙ?’

මාරෙ කතා කරන ගමන් පොඩි එකාට කියනවා රෙෆරන්ස් හොයන්න කියල. ඌ අවුරුදු හතරක විතර බට්ටෙක්. ඌත් පැහිච්ච එකෙක් වගේ එක එක කැසට් වල තියෙන කතා ප්ලේ කරනවා. ඒවා මාරෙ එකතු කරලා තියාගෙන ඉන්න කතා.

‘මචං ජේආර් ඔය විවෘත ආර්ථිකේ ගේන කොට උගේ අර අමුතු ස්ටයිල් එකට කියනවා, මං කෙරුවෙ ගාන්ධි කෙරුවා වගේ වැඩක් කියල. ලෙනින් වුණත් කිව්වා අපි විවෘත වෙන්න  ඕනි කියලා ඒත් මේ විජේවීර ඒකට විරුද්දයි කියල. මාරයිනෙ මචං’

‘මේ දැන් වගේ හැම එකකටම විරුද්ධ වෙන්න විතරක් දන්න ජේවීපී එකක් නෙමෙයි මචං විජේවීරගෙ කාලෙ තිබ්බෙ. ඌ කියනවා ජේආර් එයාගෙ බොරු දත් කුට්ටම දිවෙන් තද කර කර මේ කළේ ආර්ථිකේ විවෘත ආර්ථිකයක් කරපු එක නෙමෙයි ඒක හොර ආර්ථිකයක් කරපු එක කියල. මාරයිනෙ මචං. අපි දැක්කෙ නෑනෙ ජේආර් ගෙ බොරු දත් කුට්ටම.

මාරෙ කතාවක් පටන් ගත්තම ඒක පටන් ගත්ත තැනට සම්බන්ධයක් නැති හැම අතටම යනවා. ඌත් එක්ක කතාවක් කරගෙන යන ආතල් ඒකයි. ඒක හරියට අවසානයක් ගැන නොදන්න පාරක් දිගේ ඇවිදින්න යනවා වගේ.

‘මං රතන හාමුදුරුවන්ටත් කතා කළා. එයා කියනවා පන්සිල් තියෙනවලූ වෙස්සගිරි සෙල්ලිපියෙ. මං කිව්වා මචං, කැළණියෙ මැණික් පුටුවක් තියෙනවා කියනවනෙ. දැන් ස්කෑන් කරලා බලන්න පුළුවන් තාක්‍ෂණය තියෙනවා. ඇයි එහෙනං ගෙනල්ලා මේ මැණික් පුටුව ගැන ලෝකෙට කියන්නෙ නැත්තෙ? එහෙම එකක් නැති හින්ද. බලලා නැත්තං මුං කියන්නෙ ඒක හොරු කඩලා කියල. ඒත් දැන් තාක්‍ෂණෙන් බලන්න පුළුවන් එහෙම කඩලා නං කඩපු කාලෙ සහ විස්තර ඔක්කොම. ඒ වගේ තමයි. මේ සෙල්ලිපි කියන්නෙත් පස්සෙ ලියපුවා. ඇත්ත ඉතිහාසෙ සෙල්ලිපි වල නෑ මචං....’

? වෙලා. මට දැන් යන්න  ඕනි. යන්නං කියල කොච්චර කිව්වත් මාරෙ තව මිනිත්තුවක් ඉල්ලනවා. ඒක හින්ද මං එකපාරටම කට් කරලා දැම්මා. ඊට පස්සෙ ත‍්‍රීවීල් එකක නැග්ගා.

මං දන්නවා, ඒත් මාරෙ මට ආයිත් කතා කරනවා.

ඒක උගේ හැටි. වැඩියෙන්ම වටින්නෙ ඒ හැටිය උගේ විතරක්ම එක.

-චින්තන ධර්මදාස


6 comments:

  1. පූසා ගැන කියවීම නම් පට්ටයි.
    කොටින්ම මම පූසන්ට ආදරේ උන්ගේ ඔය අහංකාරකම හින්දා වෙන්න ඕනේ.

    ලිපිය පුරාම අමුතු මාරයා මැවී පෙනෙනවා.
    Reply
  2. මාරෙට වෙලා තියෙන්නෙ පොරගෙ ධාරිතාවයට ගැලපෙන එකෙක් නැති එක සංවාදෙට! එහෙම උන් අපට වාතයක් වගේ පේ‍න්නෙ අපිත් බිස්නස් කාරයො නිසා. මාරෙ කියන්නෙ ඔහොම උන්ගෙ අවසාන පුරුක් අතර එකෙක් වෙන්න ඕන.
    Reply
  3. mama na dawasak mareta kathaa kala...dan number eka ne...moratuwe super market eke innawa kiyala kiwwa..puluwan nam number eke denna.0716238533 (mama)
    Reply
  4. මට මාරයගේ නම්බරේ දීපන්..
    Reply
  5. salathudalambuwa@gmail.com එකට මේල් කරපන්
    Reply

 
 

මතු ආත්මය


  
 


ජගත් මාරසිංහ

 


කාර්යාලයේ සිටින සියලු පිරිමින්ට හොරා ගල්පිහිල්ල ඇය දෙස වරින් වර බලයි. එහෙත් ඇය ඔහු දෙස නොබලනවා සේ ය. එක එල්ලේ නොබැලුව ද ගැහැනියකගේ දර්ශන පථයෙන් කිසිවක් ගිලිහී යන්නේ නැත.
චාන්දනී තරමක් උස සුදු ගැහැනියකි. ඇගේ බැල්ම තියුණු ය; මන බඳින සුලුය. කලාතුරකින් කට කොනකින් සිනහවෙන ඇගේ දෙනුවන් අහංකාර පෙනුමකින් යුක්ත ය. කිසිවෙකු සමඟ වැඩි කතාබහක් නැති ඇය සැබෑවට ම ප‍්‍රියකරු ය.
”ඔයාගෙ මහත්තය කොහෙද වැඩකරන්නෙ”
”එයා නැතිවෙලා ගොඩක් කල්”
”තවම එයාට ආදරේද?”
”ආදරේ කියන්නෙ මොකක්ද කියල මම තාම හොයනව“
කාර්යාලයක් තුළ ගැහැනියක් දෙස බැලීම ද ලේසි පහසු කටයුත්තක් නොවන වග අමුතුවෙන් කිව යුතු නොවේ. ලිපිකාරයන්ට සහ ලිපිකාරියන්ට තිබෙන්නේ උකුසු ඇස් ය. ඔහු ජනේලයට මුහුණලා ලියන මේසය හරවා ගත්තේ එබැවිනි. පිටතින් ටින්ටඩ් කරන ලද ජනෙල් වීදුරුවෙන් චාන්දනීගේ ප‍්‍රතිබිම්බය දැන් ඔහුට මනාව දර්ශනය වේ. සැබෑවටම ඇය චාන්දනියක් බව ඔහුට දැනිණ. එක එල්ලේ ඇය දෙස බලනවාටත් වඩා ඇගේ ප‍්‍රතිබිම්බය දැකීම ගල්පිහිල්ල ප‍්‍රිය කළේ ය.
ඇය වැඩි පුරම ඇඳ පලඳින්නේ කලිසම් සහ ටී ෂර්ට් ය. ගවොමක් හෝ සායක් අඳින්නේ කලාතුරකිනි. ලියන්නේ වම් අතිනි. කොණ්ඩය බඳින්නේ තරමක් හිස් මුදුනට වෙන්නට ය. වම් අතින් වැඩ කරන බොහෝ ගැහැනු ඇඳුම් තේරීමට අති දක්ෂයන් බව ඔහු අත්දැකීමෙන් දනී. ඇයද එසේමය. ඇගේ ඇඳුම් පැලඳුම් කෙරෙහි ඔහු කෙතෙක් වශී වූවාද යත් ඇය දිනපතා අඳින ඇඳුම් ගණන් කිරීමට ඔහු පටන්ගත්තේ ය.
ගැන නිම කිරීමට බැරි වූ තැන ඔහු ඇයට ඇඳුම් තුන්සිය හැටපහකට වඩා ඇති බව පසක් කර ගත්තේ ය. චාන්දනිය රාජකාරියට නොපැමිණි දිනවල ජනෙල් වීදුරුව පාළු ය; අඳුරු ය. ඇගේ හිස් මේසය පමණක් ඉන් පෙනේ. එහෙත් ඇය නිසාම අතපසුවී ගොඩගැසී ඇති වැඩ නිම කිරීමට ඔහු ඒ දින යොදා ගත්තේ ය.
ගල්පිහිල්ල හැත්තෑ එකේ කැරැල්ලේ සැකකරුවෙකි. එවිට ඔහුගේ වයස අවුරුදු විසි එකකි. එකල ඔහු රූමත් තරුණියකට පෙම් කළේ ය. ඇයද පන්ති පහට සහභාගිවූ තරුණියකි. කොටින්ම එකල ගල්පිහිල්ල සිය පෙම්වතියගේ මුහුණින් කෘප්සකයාව දැකීමට වෑයම් කළේ ය. කෘප්සකයා යනු රුසියානු ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට නායකත්වය දුන් වී.අයි.ලෙනින්ගේ ආදරණීය බිරියයි.
වෙනස් වන ලෝකයේ වෙනස් නොවන එකම දෙය තම පෙම්වතියගේ සිත බව ඔහු සිතා සිටියේ ය. එහෙත් කැරැල්ලේ සැකකරුවකු වශයෙන් ඔහු සිරගත වූ නිමේෂයේ ම ඇය ඔහු හැර ගියාය. ආදරවන්තියක් පිටුපා ගිය විට බොහෝ පිරිමි ස්වකීය පෙම්වතියට වෛර කරන්නට පටන් ගනිති. තවත් පිරිසක් පිස්සන් නිකමුන් බවට පත්වෙති. එහෙත් වාසනාවකට ඇගෙන් වියෝ වූ ඒ යුගයේ ගල්පිහිල්ල දිවි ගෙවූයේ දේශපාලන සිර කඳවුරක ය.
මනුෂ්‍යත්වය සමාජවාදය විප්ලවය පිළිබඳ තර්ක විතර්ක සංවාද විසංවාද මැද ගැහැනිය පිළිබඳව භෞතිකවාදීව සිතන්නට ඔහු පෙලඹුණේය. ලාංකේය කාන්තාව බොහෝ පසුගාමී බවත්, එසේවී ඇත්තේ පුරුෂාධිපත්‍යය නිසා ස්ති‍්‍රය පීඩාවට පත්වී ඇති නිසා බවත්, ඔහු අවබෝධ කර ගත්තේය. තම පෙම්වතිය ද එවන් දේශපාලන බලයක ගොදුරක් බව වටහාගත් ඔහු ස්තී‍්‍ර සංහතියටම අනුකම්පා කරන්නට පටන් ගත්තේ ය.
ඔහු තමා හැරගිය පෙම්වතියට වෛර කිරීම පසෙක තබා පවතින සමාජ ක‍්‍රමයට තව තවත් වෛර කරන්නට පෙලඹුණේ ය. වසර තුනකින් ඔහුට නිදහස ලැබුණි. එහෙත් ඔහුට කිසිදා ඇය මුණ ගැසුණේ නැත. පීඩාවට පත්වී සිටින සියලු ස්තී‍්‍රන් ගැන ඔහු දාර්ශනිකව සිතන්නට තැත් කළේ ඉන්පසුය. තනි වූ ගැහැනුන් වැන්දඹුවන් ගැන ඔහු බොහෝ දුක් වූයේ ය. ගල්පිහිල්ල චිත‍්‍ර ශිල්පියෙකි.
ඔහු මේ සංස්කෘතික ඛේදවාචකය චිත‍්‍රයට නැඟුවේ කවදා හෝ ප‍්‍රදර්ශනයක් කිරීමට බලාපොරොත්තු වෙනි.
කෙසේ හෝ ඉන්පසු වයස අවුරුදු හතළිස් හතක් වන තුරුම ගල්පිහිල්ල කිසිම පෙ‍්‍ර්මයක පැටලුණේ නැත. පීඩාවට පත් අසරණ ගැහැනියක් සමඟ දාර්ශනික පෙ‍්‍ර්මයක පැටලීමට ඔහු සිහින මැව්වේ ය. තමුන්ට අලුතින් හමුවෙන ආදරවන්තියට ස්තී‍්‍රවාදී දේශපාලනය උගන්නා විප්ලවවාදී බිරියක් කරගැනීම ඔහුගේ එකම අභිලාෂය විය.
එහෙත් මේ වන තෙක්ම ඔහුගේ බලාපොරොත්තුව ඉටුකර ගන්නට සමත් ගැහැනියක් හමු නොවීම දෛවයේ සරදමක් විය. අතිශය පීඩාවට පත් ස්තී‍්‍රන්ට ඔහු ස්තී‍්‍රවාදී දේශපාලනය කියාදීමට තැත් කළේ ය. එහෙත් ඔය බණ අපට නොතේරෙන බව පවසා ඔවුන් ඔහු මඟහැර යන්නට විය. ඇත්ත තිත්තය. තිත්ත උනත් ඇත්ත ඇත්තමය. ස්තී‍්‍රන් ඉදිරියේ හුදකලා වූ ඔහු ස්තී‍්‍රවාදය තුළ මහමෙරක් මෙන් නොසැලී සිටියේ ය.
වෘත්තියෙන් චිත‍්‍රශිල්පියකු වූ ඔහුට ස්ථිර රැකියාවක් ලැබුණේ වයස අවුරුදු හතළිස් හතරේදීය. අඳුරු ඝන වනාන්තරයකට පුන් සඳ පෑයූ කලෙක මෙන් ඔහුගේ හදවත විකසිත වූයේ චාන්දනීව මුණගැසීමෙන් පසුව ය. ඇය දුටු විටම ඔහුගේ පපුව සීතල වෙයි. ඇගේ ස්වාමියා මියගොස් දරුවන් දෙදෙනෙකු සමඟ තනිවී ඇති බව දැනගත් ඔහු රහසින් හඬන්නට වන.
එහෙත් චාන්දනී එඩිතර අහංකාර තලත්තෑනි ගැහැනියෙකි. කිසිදු වේදනාවක් ඇගේ මුහුණින් විද්‍යාමාන නොවීය. ඇය ඔහුට වඩා අවුරුදු තුනක් වැඩිමල් ය. එහෙත් පෙනුමෙන් ළාබාල ය.
ආදරයට කිසිසේත් ම ඔහුට වයස ප‍්‍රශ්නයක් නොවී ය. එහෙත් ඉංග‍්‍රීසි භාෂාව ද මනාව හැසිරවිය හැකි ඇගේ එඩිතර අහංකාර ගාම්භීර ප‍්‍රතිරූපය හමුවේ ඔහු අසරණ විය. කෙසේ වුවද බලාපොරොත්තු හකුළා ගැනීමට ඔහුගේ දැනුම ඔහුට ඉඩදුන්නේ නැත. අවුරුදු තිස්පහේ සිට මධුලෝලත්වයේ රස විඳිමින් ජීවිතය කෙටි කරගනිමින් සිටි ඔහුට චාන්දනීගේ දැක්ම දිව ඔසුවක් විය. බලාපොරොත්තුවක බලය කොතරම් ද යත් ඇගේ එක බැල්මකින් ඔහු සුරාවට ආයුබෝවන් කීවේ ය. එහෙත් ඇගේ පෞරුෂය ඉදිරියේ ගල්පිහිල්ල බොහෝ අසරණ විය.
සමාජ ආර්ථික දේශපාලන විද්‍යාව පමණක් නොව ස්තී‍්‍රවාදය පිළිබඳව ද හසල දැනුමක් ඇති මහා කලාකාරයකු වැන්දඹු කාන්තාවක ඉදිරියේ පොඩි ළමයකු මෙන් හැසිරෙන්නේ කෙසේ දැයි වටහා ගැනීමට ඔහුගේ දැනුම ප‍්‍රමාණවත් නොවූවා සේ ය.
රාජකාරි කාලයෙන් හරි අඩක් පමණ ජනෙල් වීදුරුවෙන් ඇය දෙස බලන ඔහු දෙස ඇය ද වරින් වර බලනායුරු දුට ගල්පිහිල්ල විටක උද්දාමයට පත් විය. එහෙත් මුහුණට මුහුණ හමුවූ විට ඇගේ කටකොන සිනහවකින් ඔහු සෑහීමකට පත් විය. අවසානයේ ඔහු තීන්දුවක් ගත්තේය. කාන්සිය මඟහරවා ගනු වස් ඇගේ රූපය චිත‍්‍රයට නඟන්නට ඔහු තීරණය කළේ ය. නමුත් එය දවසින් දවස හයමසක් ම කල් දැමුවේ ය. ඇගේ උඩුකයේ සැකිල්ල පමණක් ආලේඛ්‍ය චිත‍්‍රයකට ගොඩනැඟීමට අවුරුදු තුනක කාලයක් ගෙවී ගියේ බොහෝ වේගයෙන් ය.
චිත‍්‍රයෙන් තුනෙන් එකක් පමණ දැන් වැඩ නිම වී තිබේ. එහෙත් ඇයගේ ගුප්ත දෙනුවන් නිවරදිව ඇඳ ගැනීම ඔහුට නොහැකි වීම ඔහුට මහා ප‍්‍රහේලිකාවක් විය. ඇගේ දෙනෙත සිංහ දේනුවකගේ මෙන් තියුණුය. මුවෙකුගේ මෙන් අහිංසකය. හාවෙකුගේ මෙන් හුරතල් ය. පැහැපත් ය. ආලෝකවත් ය; කෙළවරින් දිගටි ය; ගූඪ ය.
ඔහු මකමින් නැවත නැවත ඇන්දේ ය. කොලය ඉරී ගිය විට නැවත මුල සිට ඇන්දේ ය. ගැහැනියක් ප‍්‍රතිනිර්මාණය කිරීම යනු ඔහුට ඉතා සරල කි‍්‍රයාවක් වුවද ස්තී‍්‍රත්වය ගැන බොහෝ දේ දත් පිරිමියකුට ගැහැනියකගේ දැක්ම නිරූපිත චලලෝචනයෝ ඇඳීම අසීරු කාරියක් බව ඔහු අත්දැකීමෙන් පසක්කර ගත්තේ ය.
දිනක් ආපන ශාලාවේ දිවා ආහාරය ගනිමින් සිටි ඇය ඉදිරියෙන් ගල්පිහිල්ල අසුන් ගත්තේ ඇගේ දෑස් දෙස එක එල්ලේ බලා සිටීමට ඇති උවමනාව නිසා ය. ඔහු ඇගේ මුහුණ බැලුවා පමණි; ඇය කටකොනකින් සිනහවන්නට වන.
ගල්පිහිල්ලගේ සරුවාංගයම සීතල විය. හිත දැඩි කරගත් ඔහු වහා ඇගේ දෙනෙත් වෙත සිය දෙනෙත් යොමු කළේය. ඔහු මොහොතකට අන්ධ විය. ඔහු සිය දෑතේ පිපී ඇති හිරිගඬු දෙස උපේක්ෂාවෙන් බලා සිටියේය. තත්පරයෙන් පංගුවක් ගෙවී යන්නටත් ප‍්‍රථම ඔහු යමක් අවබෝධ කරගත්තා සේය. ඇගේ නෙත් පොපියමින් චලිත වේ. සැබෑටම ඇගේ මුහුණ චිත‍්‍රයකි. ඇය මූර්තියකි.
නැවුම් සිතිවිලි අතර පාවෙමින් ඔහු නැවත අඳින්නට පටන්ගත්තේ ය. වයස අවුරුදු පනහක් ඉක්ම ගිය චිත‍්‍ර ශිල්පියකුට පනස් තුන් හැවිරිදි වැන්දඹුවකගේ දෙනුවන් නිර්මාණය කිරීම මෙතරම් අසීරු වූයේ කිම. ඔහු නැවත නැවත ඇන්දේ ය. අවසානයේ දින ගැන්නේය.
පුරා පස් වසරක් ඉක්ම ගොස් තිබේ. ඇගේ ප‍්‍රතිරූපයේ සැකිල්ල නිවැරදිව කරදාසිය මත නිර්මාණය වී තිබේ. එහෙත් දෑස් අන්ධය. එය ගල්පිහිල්ලට ප‍්‍රශ්නයක් නොවේ. ඒ ඔහුගේ හිස තුළ ඇගේ දෙනුවන් හොල්මන් කරනා බැවිනි.
හිර කඳවුරේදීත් ඉන් නිදහස ලැබූ පසුවත් ඔහු බොහෝ විට චිත‍්‍රයට නැඟªවේ ගැහැනියයි. ස්තී‍්‍ර වාදය තේරුම්ගත් කාලයේ සිටම ඉතිරියගේ දුක, කඳුළ, විරහව ඔහුගේ රේඛා තුළින් මනාව නිරූපණය විය. එහෙත් ඔහු වඩාත්ම ප‍්‍රිය කළ චාන්දනියගේ දෙනුවන් තුළ අතරමං වීම අහඹුවක් විය නොහැකි ය.
මේ උභතෝකෝටිකය කාලයට කිසි සේත්ම ප‍්‍රශ්නයක් නොවුණාසේ ය. මිනිස් බෝම්බයක් පිපිරීගිය තවත් එක් දිනයක කට කොන සිනහව දා නෙතගින් මොනවාදෝ මුමුනමින් ජනෙල් වීදුරු රාමුව පාළු සොහොන් පිටියක් සේ නොසිතූ විරූ මොහොතක චාන්දනිය විශ‍්‍රාම ගියේ ය.
මේ කිසිත් නොදැන සිටි ඔහු සිහිනෙන් පිබිදුණාක් මෙන් මග්බෝධ විය. වහාම මේසය අනෙක් පසට හරවා ගත්තේ ජනෙල් වීදුරුවට පිටුපාමිනි. රාජකාරියට අමතරව පස් වසක් ඉක්ම යනතෙක් එකදු නිර්මාණයක් වත් ඔහු කර නොතිබිණි. නැවත ඔහු අඳින්නට වන. කෝපාග්නිය කෙතෙක් ද යත් ඔහු වේගයෙන් අඳින්නට විය. එහෙත් චාන්දනියගේ දෑස් නිවැරදිව සටහන් කිරීමට ඔහු අසමත් වූ නමුත් උත්සාහය අත්හැර දැමීමට තරම් ඔහු සැහැසි නොවීය.
කාලයකට පසු දෙනෝ දහක් සෙනඟ අතර කොටුව මල්වත්ත පාරේ දී ගල්පිහිල්ලට චාන්දනිය මුණගැසිණ. ඇය ව ප‍්‍රතිනිර්මාණය කිරීමට ගත් වෙහෙස නිසා ම ඔහුගේ බිය මුළුමනින්ම පහවී ගොස් තිබිණ.
”චාන්දනී!”
”........ පාළුයි!”
”...........”
”ජනෙල් වීදුරුවෙන් මම......”
”මම දන්නව. ..... දුක හිතුණා”
”මම ඔයාව අවුරුදු පහක් ම ඇන්දා. දෙන්නද”
”එපා .... මගෙ ලොකු දූ දැන් කැම්පස්”
පස් වසක් ඉක්ම ගියද සුපුරුදු අවන්හල තවමත් පෙර සේමය. ස්තී‍්‍රවාදී පිරිමින්ගේ උරුමය මධුලෝලත්වයම වූවා සේ ය. වේලාව රාතී‍්‍ර දහය පසුවීගෙන යයි. ගල් අරක්කු බෝතලය සිය අඳින මේසය මත තැබූ ඔහු කමිසය ගලවා දමා කලිසම පිටින්ම අඳින්නට පටන් ගත්තේ ය. විස්මයකි! චාන්දනියගේ චලලෝචනයෝ උත්සාහයකින් තොරවම නිවැරදිව සටහන් වූවා සේ ය.
හිස්වීගෙන යන ගල් බෝතලයෙන් ඔහු කාලය මැන ගත්තේ ය. තව මොහොතකින් කුක්කුට පක්ෂීන්ගේ කරච්චලය ආරම්භ වීමට නියමිත ය. ඔහු ආර්ට් බෝඩය මේසයේ කෙළවරට වන්නට බිත්තිය මත හේත්තු කර එක එල්ලේ එදෙස බලා සිටින්නට වන.
කැම්පස්, කැම්පස්, කැම්පස් යන හඬ ඔහුට අහසින් ඇසෙන්නට විය. අඩක් හිස් වූ ගල් බෝතලයේ සෙවණැල්ල දෙස චාන්දනිය රවා බලනවා සේය. පැන්සල් කොටය ගෙන ඔහු චාන්දනියගේ රූපයට නමක් ලිව්වේ ය.

”මතු ආත්මය”


 

මහගම සේකර


 
 

නන් ප්‍රතිභා රූ මැවූ සේකර






නිර්මාණ ලෝකයේ දැවැන්තයන්ගේ ජීව දත්ත හා අප්‍රකට තොරතුරු ඇතුළත් විශේෂාංගය
මහගමසේකර චිත්‍ර ශිල්පියෙකි. ගීත රචකයෙකි. කවියෙකි. තව බොහෝ දේ ලියාගෙන ගිය හැකි ය. එහෙත් ඇත්ත වශයෙන් ම මහගමසේකර ශ්‍රී ලංකාවේ සිංහල කලාකාරයෙකි. ඔහු සාම්ප්‍රදාය ගරු කළේ ය. අති තියුණු ලෙස ශ්‍රී ලාංකේය මිනිසුන්ගේ හදවත් ස්පර්ශ කළේ ය. ඔහු ගැන තවත් කතා කුමට ද?
සේකර කිසි විටෙකත් කිසිවකුට දණ නොනැමුවේ ය. ඔහු කලාව, කලාව ලෙසට ම කරගෙන ගියේ ය. නමුත්, සාම්ප්‍රදායික වශයෙන් ඔහු ඉතා සරල මිනිසෙක් විය.
ඔහු ‘තුංමං හන්දිය’ කරන අවධියේ ඉතා රස සිද්ධියක් මා කියවා තිබේ. චිත්‍රා බාලසූරිය වනාහි ගම්පහ ජීවත් වුණු ‘පරසතු මල්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සුවිශේෂි මිනිසෙකි.
ඔහුගේ චිත්‍රපටයෙන් පසු සේකර තමන්ගේ ‘තුංමං හන්දිය ද රැගෙන ඔහු වෙතට ගියේ ඊට දායකත්වය ලබා ගැනීමට ය. ‘තුංමං හන්දිය’ ලෙස්ටර්ට ද පෙන්නුවේ ය. හැම තැනින් ම ප්‍රතික්ෂේප විය. නමුත් චිත්‍රා බාලසූරිය කැමැති විය. තවමත් ‘තුංමං හන්දිය’ ශ්‍රී ලංකාවේ සාර්ථක චිත්‍රපටයකි. එහෙත් තුංමං හන්දිය ආර්ථික වශයෙන් අසාර්ථක විය. ඊට පසු දවසක චිත්‍රා බාලසූරියගේ ගෙදරට පැමිණි මහගමසේකර උළුවස්සට ඔළුව තියාගෙන ඇඬුවේ ය. ඇයි අඬන්නේ යැයි ඇසූ විට ඊට දුන් පිළිතුර මා බුද්ධිමය පාඨකයන්ට කිව යුතු නැත. සැබවින් ම ඔහු දැවැන්තයෙක් වන්නේ ඒ නිසයි.
සේකර වෙල් එළියේ නිරුවත් ව එහෙ මෙහෙ ඇවිද්දේ ය. ගෙදර එන්නේ, අම්මේ කියා ගෙන ය. ගමේ දී කා සමඟත් කතා කළේ උඹ බං කියාගෙන ය. කොටින් ම අම්මා තාත්තා සමඟත් කතා කළේ එලෙස ය.
නම් ගම් අවශ්‍ය නැත. එක් දිනක් චිත්‍රපටයක තිර රචනයක් කියවන්නට ගොස් (තුංමං හන්දිය) නිදා සිටිය තමන්ගේ තාත්තාට “තාත්තේ නැගිටපං” කියා අවදි කළේ ය. ‘මොකක්ද යකෝ මට නිදාගන්න දීපං කියා තාත්තා කීවේ ය. “අනේ තාත්තෙ සිගරැට් ඉවරයි. අපට සිගරැට් ගෙනත් දීපං’ “යකෝ මේ අනෝරා වැස්ස”
“අනේ මගෙ චිත්‍රපටයේ කතාව යාළුවන්ට කියවනවා. ඒක හින්දා අපේ වැඩේ නවතින්න දෙන්න එපා. අනේ සිගරැට් ටිකක් ගෙනත් දියන් තාත්තේ බුදු බව අත්වෙයි.”
ඔහුගේ ජීවිතය සම්බන්ධ ව ඉහත පෙළෙන් ඔබට අවබෝධ කරගැනීමට හැකි ය. සේකර කේන්දර ගැන ද විශ්වාස කළේ ය. ඔහුගේ කේන්දරය සම්බන්ධ සත්‍යය ම සිද්ධිය තුංමං හන්දියේ කියා ඇත.
“... මගේ කේන්දරය හැදුවේ ජුවානිස් ආතා ය. වර්ෂ 1929 ක් වූ අපේ‍්‍රල් මස හත් වන ඉරු දින දවල් හිටි පියවරට ජන්ම ලාභය ලත් කුමරුවා වර්ගෝත්තමයි. ජලයෙන් විපත්ති පැමිණෙන්නට පුළුවන්. දහ අටේ දී විතර හුඟක් අපලයි. හැබැයි ඒක පන්න ගත්තොත් නඩුකාරයෙක් තරමට ප්‍රසිද්ධ වෙයි.”
කළු දිග කොට කලිසම, අත් කොට කමිසය බාල වර්ගයේ සෙරප්පු ඔහු පාවිච්චි කළේ ය. හිස කෙස් අවුල් වී ඇත. බොහෝ විට ඔහුගේ උඩු කයේ අත්මේස් බැනියමක් වත් නැති විය. මධුවිතට ලොල් කළේ ය. ඊටත් වඩා තීරෝස් සිගැරැට්ටුවටත් පි‍්‍රය කළේ ය. නිර්මාණ ජීවිතයත් පෞද්ගලික ජීවිතයත් එකක් ම විය.
ඔහු ‘ප්‍රබුද්ධ’ නිර්මාණය කරද්දි පශ්චාත් නූතන කාව්‍ය විචාරයට පූර්වාදර්ශයක් දුන්නා යැයි නිගමනය කළ හැකි ය. මරණය පවා පාරිභෝගීකරණය වී ඇති බව පළමු ව දුටුවේ ඔහු ය. ඔහු නිට්ටඹුව ගුරු විද්‍යාලයේ දී වොලිබෝල් ගැසුවේ ය. සාමාන්‍ය විදුහල්වලදී කැලෑ පත්තර ගැසුවේ ය. ඔහුගේ කැලෑ පත්තරයක කවියක් මෙහි නොලීවොත් එය අඩුපාඩුවක් විය හැකි ය.
ගමේ ගෑනු ළමයෙක් සමඟ සම්බන්ධයක් පැවැත් වූ ගුරු මහතකුට විරුද්ධ ව ඔහු කවි කොළයක් ලිව්වේ ය. ඉන් එක කවියක් පමණක් සටහන් කරමි.
ආදර බස් කියා ඈ සනසා සොඳට
රූබර මුව කමල පිරිමැදලා සොඳට
කාමර තුළට වී පාසල අරින විට
නාඹර වයසෙ උන් කත ආවා දඟට
සේකර චාරිකාවක් යන විටත් පොත්පත් ගෙන යයි. ඔහු කුඩා කල චිත්‍ර ඇන්දේ බිත්තියේ ය. සේකර මොනතරම් චිත්‍ර ඇන්දත් ඔහු ඒ හැම චිත්‍රයක් ම අම්මාට පෙන්නයි. සේකර මරණය මෙනෙහි කළේ ය.
වැළඳ ගන්න මා ආදරයෙන්
වෙල් එළියේ මා ඇවිදිනා විට
සුළඟ මා ඇතුළත පිටත
දිව ගොසින්
(නොමියම් අත්පිටපතින්)
80 දශකයේ එක් දිනක් කොළඹ විශ්ව විද්‍යාලයේ සේකර ගැන සම්මන්ත්‍රණයක් එවකට කලාව සම්බන්ධ ව මහ වැඩ කොටසක් කළ නිර්මාණ සංවාද කුලකය විසින් පැවැත්විණි. එහි ප්‍රධාන දේශනය දී තිබුණේ පියසීලි විජේගුණසිංහයන්ට ය. ඇය කීවේ මට දී ඇති මාතෘකාව ‘මහගමසේකරගේ යථාර්ථවාදී ලක්ෂණ සම්බන්ධ ව කතා කිරීමට කියා ය. එහෙත් පියසීලි විජේගුණසිංහයන් කීවේ මා කියන්නේ සේකර යථාර්ථවාදී කලාකරුවෙක් නොවන බව ය. එසේ වී තිබේ නම් කොතරම් හොඳ දැයි මට සිතේ.

ජගත් මාරසිංහ


වතගොත
නම :- මහගම සේකර
මුල් නම :- මහගමගේ සමරසේකර
උපන් දිනය :- 1929.04.07
උපන් ගම :- සියනෑ කෝරළේ රදාවාන
මවගේ නම :- රණවක ආච්චිලාගේ රොසලින් නෝනා
පියාගේ නම :- මහගමගේ ජෝන් සිඤ්ඤෝ
පාසල් අධ්‍යාපනය :- රදාවාන රජයේ පාසල, කිරිඳිවැල රජයේ පාසල, රජයේ ලලිත කලායතනය
විවාහය :- 1963 අපේ‍්‍රල්
බිරියගේ නම :- කුසුමලතා සුරවීර
දරුවන් :- ශේෂා පාඨලී (ලොකු දුව), නිරුපමා සත්මාලි (දෙවැනි දුව), රවින්ද මහගමසේකර (පුතා)
ඔහුගේ මුල් ම ග්‍රන්ථය:- ආතර් කොනන් ඩොයිල්ගේ ‘වයිට් කම්පනි’ (White Company) කෘතියෙහි පරිවර්තනයක් වූ ‘ධවල සේනාංකය’ යි. ඉනික්බිති ව පුංචි අපට කයි කතන්දර (ළමා පද්‍ය - 1958), ව්‍යංගා (කේ. ජයතිලක සමඟ - 1960), සද්දන්ත හා තවත් නාටක (නාට්‍ය - 1961), සක්වාලිහිණි (පද්‍ය - 1962), හෙට ඉරක් පායයි (පද්‍ය - 1963), මක්නිසාද යත් (පද්‍ය - 1964), මූදු පුත්තු (ගුණසේන ගලප්පත්ති සමඟ - නාට්‍ය - 1965), රාජතිලක ලයනල් සහ පි‍්‍රයන්ත (පද්‍ය - 1967), තුංමං හන්දිය (නවකතා - 1967), බෝඩිම (පද්‍ය - 1970), මනෝ මන්දිර (නවකතා - 1971), මහගම සේකරගේ ගීත (ගී පදමාලා - 1972), සරු පොළොවක් අපට ඇතේ (ළමා ගීත - 1973), නොමියෙමි (පද්‍ය - 1973) ප්‍රකාශයට පත් විය. .
ඔහුගේ අභාවයෙන් පසු ප්‍රබුද්ධ (පද්‍ය - 1977), මහගම සේකරගේ කෙටි කථා සහ චිත්‍ර (1981), මහගම සේකරගේ නොපළ ගීත (1984) සහ හංස ගීතය සහ තවත් නිර්මාණ (1985) ප්‍රකාශයට පත් කැරිණි. මේ නාමාවලියට එක්විය යුතු අමුද්‍රිත ග්‍රන්ථයක් වනුයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් සඳහා ඉදිරිපත් කැරුණු ‘සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍යයේ රිද්ම ලක්ෂණ’ නමැති, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකින් මුල් වරට පශ්චාත් ජන්‍ය ආචාර්ය උපාධියක් පිරිනැමුණු නිබන්ධය යි. එය සේකර ලියූ විශාලත ම කෘතිය යි.
රැකියාවන් - කොළඹ රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයේ චිත්‍රකර්ම ගුරුවරයා, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ භාෂා පරිවර්තක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදක, මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ චිත්‍රකර්මය පිළිබඳ කථිකාචාර්ය, රජයේ ලලිත කලායතනයෙහි විදුහල්පති, අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය අංශයේ සංස්කෘතික කටයුතු පිළිබඳ ප්‍රධාන අධ්‍යාපන නිලධාරී, රජයේ කලායතනයේ විදුහල්පති පදවිය